විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

audit
රටේ මීළඟ විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පුදුම සහගත කාරණය වන්නේ මිලිටරි ඉතිහාසයක් සහිත තවත් නමක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ.
ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ප්‍රතික්ෂේප වීමත් සමඟ, පසුගිය මාස අටක කාලය තුළ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර හෝ වැඩබලන පදනම මත පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා හතරක්ම සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
පසුගිය සති දෙක තුළ දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයෙකු නොසිටීම හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.
රාජසිංහ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරියෙකු වන අතර යුද්ධ හමුදා විගණන අංශයේ සාමාජිකයෙකි. හමුදා ඉතිහාසයක් සහ ශික්ෂණයක් සහිත කෙනෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගෙන ඒම එම දෙපාර්තමේන්තුවේ ඇති ස්වාධීනත්වයට බරපතල බාධාවක් බව තතු දන්නෝ කියති.
පසුගිය බදාදා පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඔහුගේ නම සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාගේ නාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ සාමාජිකයන් හතර දෙනෙකු පමණක් වන අතර පස් දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ද මෙම නාම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය සහ සභානායක බිමල් රත්නායක මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ආදම්බාවා සහ එස්. ශ්‍රීධරන් යන මහත්වරු ද නාම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව, එම ධුරය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විගණන නිලධාරියෙකු වන එච්.ටී.පී. චන්දන මහතාගේ නම ජනාධිපතිවරයා විසින් මුලින්ම යෝජනා කළ නමුත්, ව්‍යවස්ථා සභාව එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
මේ හේතුවෙන් ජාතික විගණන කාර්යාලයේ ඊළඟට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා වැඩබලන විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට සිදු විය. මාස හයකට පසු ඔහුගේ ධුර කාලය යළි දීර්ඝ කිරීමට ගත් පියවරක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ඉදිරිපත් කළ නමුත් ඇයගේ නම ද ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
විගණකාධිපති තනතුරට රජයේ ගැටලු ස්වාධීනව හෙළි නොකරන අන්දමේ කෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට දැඩි වුවමනාවක් ඇතැයි හැගෙන අතර, විගණකාධිපති දෙපාර්තමේන්තුවට රජයේ අකාරයක්ෂමතා සහ පාඩුව හෙළිදරව් කිරිමේ හැකියාව සහ බලය පවතී.
ලබන වසරේදී පළමු වතාවට ජාතික ජන බලවේග රජයේ කාර්යසාධන ඇගයීම විගණකාධිපතිවරයා සතු වගකීමක් බවට පත් වෙයි. එවැනි පසුබිමක මෙම තනතුර ගැන එකගතාවට නොපැමිණ, එම තනතුරට දැඩි බලපෑම් කිරීම රජය තමන්ව විගණනයට ලක් කිරීම ගැන දැඩි බියක් දක්වන බවට සංකේතයක් බවට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *