නව වසරේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් හප්පලා
2026 නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු, අද (01) අලුයම අම්බලන්තොට වලවේ ගඟ පාලම අසලදී බීමත් රියදුරෙකු පදවාගෙන ආ මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලුයම 2.30 ට පමණ තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මාර්ග බාධකයේ සිටි නිලධාරීන් සංඥා කර ඇති බව පොලීසිය සඳහන් කළා.
නමුත් පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය වූ එම රථය, මාර්ගයේ සිටි නිලධාරීන් දෙදෙනෙකු යට කරමින් හම්බන්තොට දෙසට පළා ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ සූරියවැව, වීරියගම පදිංචි දෙදරු පියෙකු වන පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතායි.
ඔහු බරපතළ තුවාල සහිතව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එහි ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.
කෙසේවෙතත් පොලිස් කොස්තාපල් සරත් කුමාර මහතා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා ලබන 03 වනදා අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව සිට තිබෙන බව පොලීසිය පැවසුවා.
ඒ වෙනුවෙන් ඔහුට සමුදීමේ උත්සවය ද අද පැවැත්වීමට නියමිතව තිබියදී මෙම අවාසනාවන්ත ඉරණමට ඔහු මුහුණ දී තිබෙනවා.
මෙම මෝටර් රථයේ ගැටීමෙන් රාජකාරියේ යෙදී සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට අම්බලන්තොට රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම පොලිසිය පවසන්නේ, අනතුර සිදු කර පළාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්‍රදේශයක දමා ගොස් තිබියදී සොයාගත් බවයි.
ඔවුන් දෙදෙනාම අනතුර සිදුවන අවස්ථාවේ දැඩි ලෙස බීමත්ව සිටි බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙන අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


