ව්‍යවස්ථාවට අනුව රජයේ අනෙකුත් නිලධාරීන්ට අදාළව විනය කටයුතු සිදු කරන ලෙසම නීතිපතිවරයාට විරුද්ධවද එලෙස ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
රූපවාහිනි නාලිකාවක ඊයේ (26) පැවති දේශපාලන වැඩසටහනකදි ඔහු මේ බව කියා සිටියා.
නීතිපතිවරයෙකු ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, දේශපාලන අවශ්‍යතා මත නීතිපතිවරයා ඉවත් කිරීම වැළැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2001 වසරේදී විශේෂ පනතක් හඳුන්වා දුන් බවයි.
මෙම පනත මගින් ආවරණය වන්නේ නීතිපති සහ පොලිස්පති යන තනතුරු දෙක පමණක් බවද ඔහු එහිදී කියා සිටියා.
නීතිපතිවරයෙකු ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වාදුන් විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ, ඉන්පසු විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහු වරදකරු විය යුතු බවයි.
නීතිපතිවරයා නීතිය පිළිබඳව දරන මතය යම් පාර්ශවයකට ගැටලුවක් වුවද, එය විෂමාචාරයක් නොවන බව ඔහු පෙන්වාදෙනවා.
විනිසුරුවරුන්ට මෙන්ම නීතිපතිවරයාට ද සිය තීරණ සම්බන්ධයෙන් මුක්තියක් හිමි වන බවත් විෂමාචාරයක් ලෙස සැලකෙන්නේ හිතාමතාම කිසියම් පාර්ශවයකට වාසි සහගත ලෙස අක්‍රමිකතාවක් සිදු කළහොත් පමණක් බවත් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.
එමෙන්ම වත්මන් නීතිපතිවරයා පිළිබඳව අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, ඔහු එම තනතුරට පත්වූයේ දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස මිස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පුද්ගලික කැමැත්ත මත නොවන බවයි.
එම පත්වීම 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව සිදු වූවක් බවත්, ඔහුට දේශපාලන ලේබල් ඇලවීම සමස්ත දෙපාර්තමේන්තුවටම කරන අගෞරවයක් බවත් ඔහු පැවසුවා.
යම් හෙයකින් නීතිපතිවරයා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ වැරදි ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔහුට එරෙහිව වීදි බැස විරෝධතා දක්වනවා වෙනුවට අනුගමනය කළ හැකි නීතිමය මාර්ග පවතින බව විජයදාස රාජපක්ෂ මහතා පෙන්වාදෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව තුළ ලිපිගොනු දහස් ගණනක් පවතින අතර, ඒවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම් මගින් අධ්‍යයනය කර නීතිපතිවරයා වෙත යොමු කරන ක්‍රමවේදයක් පවතින බවත්, එය ඉතා විධිමත් ක්‍රියාවලියක් බවත් විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


