ශිරන්තිගේ ID අංකය දාලා තියෙන්නේ බැංකු නිලධාරියෙක් – මහින්ද පතිරණ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුමට ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222V ලෙස සටහන් වීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා අදහස් පල කර තිබුණා.
ඔහු එහිදී සඳහන් කරන්නේ, මෙම ගිණුම විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ඇය බැංකුවට රැගෙන ගොස් ඇත්තේ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය බවයි.
බැංකු ගිණුමක් විවෘත කිරීම සඳහා ලබාදෙන ඉල්ලුම් පත්‍රයේ විදෙස් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් කිරීමට එක් ස්ථානයක් පවතින බවත්, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීම සඳහා වෙනත් ස්ථානයක් වෙන් වෙන් වශයෙන් පවතින බවත් ඔහු කියා සිටියා.
එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ ඇය සතු ජාතික හැඳුනුම්පත රැගෙන ගොස් නොමැති බවත්, එහි සඳහන් අංකය සම්බන්ධයෙන් ඇයට මතකයක් නොතිබී බවත්, ඒ හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර අංකය ඊට අදාළ ස්ථානයේ ඇය සටහන් කර ඇති බවත් ඔහු පවසනවා.
ඔහු සඳහන් කළේ, එම අවස්තාවේ බැංකුවේ සිටි බැංකු නිලධාරියා විසින් ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කිරීමට තිබෙන ස්ථානයේ ආදර්ශ අංකයක් (ඩමි අංකයක්) ලියා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“”මේ ගිණුම අරින්න ගිය අවස්ථාවේදී ඇය බැංකුවට අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක. හැබැයි බැංකු ගිණුමක් අරින ඉල්ලුම් පත්‍රයේ පාස්පෝර්ට් අංකය ලියන්න එක තැනක් තියෙනවා, ID නම්බර් එක ලියන්න තව තැනක් තියෙනවා. ශිරන්ති මහත්මිය අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක.
ID එක අරන් ගිහිල්ලා තිබිලත් නෑ, එහි අංකය ඇයට මතක තිබිලත් නෑ. පාස්පෝර්ට් අංකය ඊට අදාළ තැන දානවා.
ID නම්බර් එකට එතන හිටපු බැංකු නිලධාරියා කරන්නෙ නිකන් ඩමි අංකයක් දානවා.
ඒ ඩමි අංකය තමයි ඔය 2222222V කියලා දාලා තියෙන්නෙ. මෙලො මනුස්සයෙක්ට මේ වගේ අංකයක් එන්න විදියක් නෑනෙ. ඒ අංකය පුරවන්නෙ නැතුව කම්පියුටර් එක ඒක පිළිගන්නෙත් නෑ. මේක තමයි මේ පසුකාලීනව වංචාවක් විදියට පෙන්වන්න ගන්නෙ….”


