මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී

WhatsApp Image 2026 02 19 at 18.17.06 7 1

මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී

ජන ජීවිතයට පීඩා කරන රිලවුන් දූපතකට කොටු කිරීම ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයාගේ උපකල්පනයක්, උපන්‍යාසයක් පමණක් බවත් තවම එය ප්‍රයෝගිකව කළ හැකි තත්වයක නොමැති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසනවා.

ස්වර්ණවාහිනී නාලිකාවේ “නාඩිය” දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළා.

මෙම වැඩසටහනේ ස්වභාවය අනුව ඊට සහභාගීවූ පාසැල් දැරියක් රුවන් මාපලගම මන්ත්‍රීවරයාට ප්‍රශ්නයක් යොමුකරමින් වත්මන් ආණ්ඩුව සිදුකළ රිලා සංගණනය සහ ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා යෝජනා කළ රිලා දූපත පිළිබඳ විමසා සිටියා.

එයට පිළිතුරු දෙමින් රුවන් මාපලගම මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුව අදෘශ්‍යමාන බලවේග මත හෝ අවිද්‍යාව මත කටයුතු නොකරන බවයි.

යම්කිසි ගැටලුවකට පිළිතුරු සෙවීමේදී ඒවා පිළිබඳ දත්ත සහ තොරතුරු සොයා ඒ සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

සත්ව සංගණනය පිළිබඳ ඕනෑම තොරතුරක් රජය සතු බවත් ඒවා ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ රිලා ගැටලුව විශාල වශයෙන් පවතින බැවින් එයට විසඳුමක් ලෙස රිලවුන් මරා දැමීම හෝ වෙනත් රටකට ඔවුන් යැවීම සිදු නොකර අභ්‍යන්තර ජලාශයක දූපතක ඔවුන් කොටු කිරීමට ඔහු ගෙන ආවේ යෝජනාවක් පමණක් බවත් එය උපකල්පනයක්, උපන්‍යාසයක් පමණක් බවත් තව එය ප්‍රයෝගික මට්ටමේ නොමැති බවත් රුවන් මාපලගම මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.

කෙසේවෙතත් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ ඇති අක්කර 200 ක පමණ දූපතක සංචාරය කිරීමෙන් අනතුරුව 2025 වසරේ මාර්තු 28 වැනිදා ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පැවසුවේ රිලවුන් සම්බන්ධයෙන් වන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් ලැබී ඇති බවයි.

රිලවුන් සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණීලි ලැබීම නිසා මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර ඊට අදාළ යෝජනාවලිය මහනුවර සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමේ අනුමැතියද ලබාගත් බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඊට මහවැලි අධීකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණීය විශ්ව විද්‍යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු තවත් ආයතන රැසක් සම්බන්ධ වන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් රිළා ප්‍රශ්නය විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත්, එහි සම්පූර්ණ වගකීම ජගත් මනුවර්ණ මහතාට පවරා ඇති බවටත් කෘෂිකර්මාන්ත අමාත්‍ය ලාල් කාන්ත මහතා මීට වසරකට පෙර ප්‍රකාශ කර තිබුණා.

රිළවුන් චීනයට යැවීමට හෝ මරා දැමීමට ජනතාව අකමැති බැවින්, ඔවුන් රඳවා තැබීම සඳහා දූපතක් සොයාගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ අතර රිළා රංචුවක අවම 7ක් සහ උපරිම 133ක් පමණ සිටින බව තමන් දන්නා බවත්, තමන් මේ වන විට රිළා විශේෂඥයෙකු වී සිටින බවටත් වැඩිදුරටත් පවසා තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *