වවුනියාව, මහමයිලන්කුලම ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ව්යාපාරික කාන්තාවකට අමානුෂික ලෙස පහරදී, අතවර කර රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පුතු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අදාළ කාන්තාව විසින් සිය පුත්රයා වෙත පරිශීලනය සඳහා ලබාදී තිබූ සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණි සැකකාර පුතු, තවත් පුද්ගලයන් පිරිසක් සමඟ පැමිණ මෙම සැලසුම ක්රියාත්මක කර ඇත. සසුන්ගත නිවසට ඇතුළු වූ සැකකරුවන් පිරිසක් අදාළ කාන්තාවගේ මුහුණ රෙදිකඩවලින් ගැටගසා ඇයට අතවර කර ඇති අතර, එම අවස්ථාවේ සැකකාර පුත්රයා පිටත සිටිමින් ඔත්තු බලමින් සිට ඇත.
අනතුරුව නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා මැණික්, පවුම් දාහතරහමාරක රත්තරන් සහ රුපියල් පස්ලක්ෂ හැත්තෑදහසක මුදලක් ඇතුළු දේපළ කොල්ලකා සැකකරුවන් පලාගොස් තිබේ.
වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්. රත්නමල්ල මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉලංගසිංහ සහ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්දුල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනවලදී මාතලේ මහවෙල, ගලේනබිඳුණුවැව සහ මින්නේරිය යන ප්රදේශවලදී ප්රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. පසුව ලද තොරතුරු මත අදාළ පුත්රයා ඇතුළු සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු ක්රියාත්මක වේ.


