කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (10) අලුයම අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් නතර කරන ලෙස පොලිසිය කළ සංඥාව නොතකා එය මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂා කර ආපසු පැමිණෙමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය වෙත දැනුම් දී තිබෙනවා.
පලායමින් තිබූ වෑන් රථය නතර කර ගැනීමට පොලිස් ජීප් රථය උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇති බව පොලීසිය පැවසුවා.
පොලීසිය පවසන්නේ, ප්‍රථමයෙන් අහසට වෙඩි තබා රථය නතර කිරීමට උත්සාහ කළ බවත් එයද නොතකා පලායාම හේතුවෙන් රථය ඉලක්ක කර වෙඩි තැබීමට පොලිසියට සිදු වූ බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.
පරීක්ෂා කිරීමේදී එම වෑන් රථයේ පසුපස අසුන් ගලවා ඉවත් කර තිබූ බව අනාවරණය වී ඇති අතර, එහි සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කයිට්ස් පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.


