අනුරගේ ඇමතුමෙන් පසු ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරයි

WhatsApp Image 2026 02 10 at 11.22.36 AM

ඉන්දියාව සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරඟය වර්ජනය කරන ලෙස පාකිස්තාන රජය මීට පෙර සිය කණ්ඩායමට දැනුම් දී තිබුණා.

එවන් පසුබිමක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පස්වරුවේ විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා කළ සුහදශීලී ඉල්ලීම පරිදි තරඟයට සහභාගී වීමට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර තිබෙනවා.

තම නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ, 1996 ලෝක කුසලාන සමයේදී මෙන්ම ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අවධියේදී ද පාකිස්තානය සහ ඉන්දියාව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබා දුන් සහයෝගය කිසිවිටකත් අමතක නොකරන බවයි.

දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය එහිදී අවධාරණය කළා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන් නියමිත පරිදි ඉන්දියාව සමග තරඟයට එක්වන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, සැලසුම් කළ පරිදි ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් උද්යෝගිමත් තරඟයක් වන ඉන්දු – පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවේදී නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

තරඟාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව වෙනුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ මේ සඳහා සහයෝගය දුන් සියලුම පාර්ශවයන්ට ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *