සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා යුටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙකු වන ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් සිය යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දීය බෙහෙතේ යටගිය කතාව, නගරාධිපති බැල්තසාර්ගේ නෑයා සහ ඇමති නලින්දගේ වහංකිරීම” යන සිරස්තලය යටතේ වැඩසටහනක් ඉදිරිපත් කර තිබුණා.
එහිදී ආන්දෝලනාත්මක ඖෂධ ආනයනයකට අමාත්‍යවරයාගේ නම ඈඳමින් විවිධ චෝදනා එල්ල කර තිබූ අතර, අමාත්‍යවරයා පවසන්නේ එම ප්‍රකාශ සියල්ල අසත්‍ය, ද්වේෂසහගත සහ තම කීර්ති නාමයට හානි පමුණුවන ඒවා බවයි.
ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එම වැඩසටහන මගින් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, අදාළ ඖෂධය ආනයනය කිරීමට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බවත් සැපයුම්කරු වන PTC Medicals Pvt Ltd සමාගම සමඟ එක්ව අමාත්‍යවරයා තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවයි.
එමෙන්ම එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොළඹ නගරාධිපතිනී ව්රායි කැලී බැල්තසාර් මහත්මියගේ පවුලේ සාමාජිකයන් අතර සබඳතාවක් ඇති බවටද ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් සිය වැඩසටහන හරහා ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් තමන්ට සිදු වූ අපහාසයට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉල්ලා අමාත්‍යවරයා මීට පෙර එන්තරවාසියක් යවා තිබුණා.
නමුත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සිය නීතිඥවරුන් හරහා පිළිතුරු එවා තිබූ බැවින්, අමාත්‍යවරයා ඊයේ (09) දින කැස්බෑව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.


