ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයින්ට දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබෙනවා.
මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බව එම නිවේදනයේ සඳහන් වනවා.
තවද ඊශ්‍රායල හමුදාව පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරනවා.
එබැවින් යම් හෙයකින් හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතිවුවහොත් පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද ඔවුන්ට දැනුම්දී ඇත.
2025 ජුනි මස එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත් නොවුයේ ඊශ්‍රායිල් ආරක්ෂක අංශ හා තානාපති කාර්යාලය නිරන්තරයෙන් සිදුකරන දැනුවත් කිරීම් මෙන්ම හදිසි සයිරන් නාදයන් සමඟ සියලුදෙනාම පාහේ තමන් පදිංචි ස්ථානවල හෝ ඒ ආසන්නයේ ඇති ආරක්‍ෂිත නිවස්නවල රැකවරණය ලබා ගත් නිසා බව එහ නිවේදනයේ සඳහන් වනවා.
මේ වන විට ඉන්දියන් රජය ඉරානයේ සිටින තම පුරවැසියන් හා ඉන්දියානු සම්භවයක් ඇති පිරිස වෙත නිවේදනය කරමින් හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස දැනුම්දී තිබෙනවා.
එයට අමතරව දෝහා රාජ්‍යයේ ඇමරිකානු යුද කඳවුරුවල සිටින පිරිස් ඒවායින් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන බවත් ඒ සමඟම කලාපය හරහා ගමන් කරන ඇතැම් ගුවන් ගමන් අත්හිටවීමට හෝ සීමාකිරීමට කටයුතු සිදුවෙමින් පවතින බව පෙනී යන බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.
එම නිවේදයෙන් දුන් උපදෙස් මාලාව,
* ඊශ්‍රායිල් මාධ්‍යය හා ආරක්ෂක අංශවලින් කරන දැනුවත් කිරීම පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.
* අසනීප සඳහා බෙහෙත් භාවිතා කරන පිරිස් තම බෙහෙත් ඉතා ආසන්නයේ තබා ගත යුතුය.
*විදුලිය විසන්ධි වීමකින් හෝ අන්තර්ජාල පද්ධති අක්‍රීයවිමකින් දුරකථන ක්‍රියාවිරහිත වුවහොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වළකින්න.
*විවෘත ස්ථානවල සේවය කරන පිරිස් තම සේවා කාලය අතරතුර අනතුරු ඇඟවීමක් ලදහොත් තමන්ට ආසන්නයේ ම ඇති ආරක්‍ෂිත ස්ථානයේ රැකවරණය ලබන්න.
* වාහනවල ගමන් කරන අවස්ථාවක හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තම වාහනය ඉන් බැස ළඟම ඇති ආවරණයක් කරා ගමන් කරන්න.
* ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාකරන පිරිස පවතින තත්ත්වය විලිබඳව විමසිලිමත්වන ලෙස දන්වමි.
* අද (15) දින තෛපොංගල් දිනය වෙනුවෙන් හා හෙට (16) මෙන්ම අනිද්දා (17) ඊශ්‍රායිල් රජයේ සතිඅන්ත නිවාඩු හේතුවෙන් තානාපති කාර්යාලය වසා තැබුව ද අනපේක්ෂිත හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් තානාපති කාර්යාලය හදිසි සේවා සඳහා විවෘත කර තබන බව කරුණාවෙන් සලකන්න.


