කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට

nagarasabawa 1

කොළඹ නගර සභාවේ සල්ලි පෙට්ටියේ යතුර විපක්ෂය අතට

කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනා තේරී පත්වී තිබෙනවා.

මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමේ ඡන්ද ඊයේ (14) පැවති අතර පාලන බලය හිමි ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් පරාජයට පත් වී තිබුණා.

ඒ අනුව අනුර සුජීව, රෝයි බෝගහවත්ත, තරංග ශානක, දයාරත්න පෙරේරා, එම්. අර්ෂාඩ් නිසාම්ඩීන් යන විපක්ෂයේ මන්ත්‍රීවරු මුදල් කමිටුවට තේරිපත්ව තිබෙනවා.

කොළඹ නගර සභාව සඳහා ස්ථාවර කාරක සභා පත් කරගැනීම ඊයේ දිනයේ නියමිතව තිබූ අතර එහිදී සභාවේ ප්‍රධානම කමිටුවක් වන මුදල් කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීම සිදු කෙරුණා.

මෙහි සභාපති ධුරය නිතරගයෙන් නගරාධිපතිනියට හිමි වූ නමුත් ඉතිරි සාමාජිකයන් 05 දෙනා සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට හැකිවූ බව කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සරූක් මහතා පවසනවා.

මුදල් කමිටුවේ විධායක බලය ආණ්ඩු පක්ෂයට හිමි වූ නමුත් එහි ව්‍යවස්ථාදායක බලය විපක්ෂයට හිමිවූ බැවින් ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරන හොඳ වැඩ සහ යෝජනාවලදී සහාය දෙන බව ද ජනතාවට අවැඩක් වන යෝජනාවලට විරුද්ධ වන බවද විපක්ෂ නායක රිසා සරූක් මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *