එක්නැලිගොඩ නඩුවේ චූදිතයට දුන් උසස්විමට සන්ධ්‍යාගෙන් අනුරට ලියුමක්
ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළකරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ මහතාගේ බිරිඳ ලෙසත්, මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ අගතියට පත් පාර්ශවය ලෙසත් මෙම ලිපිය යොමු කරන බව ඇය විසින් සඳහන් කරනවා.
ලිපියෙන් ඇය පවසන්නේ vuiirනඩුවේ 9 වන චූදිතයා ලෙස නම් කර සිටින හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් යන අයගේ හමුදා නිලය ‘බ්‍රිගේඩියර් ‘ තනතුර දක්වා උසස් කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුනු බවත් එම පත්වීම සම්බන්ධෙයන් දැඩි කණගාටුව සහ විරෝධය පලකරන බවයි.
එක්නැලිගොඩ මහත්මිය විසින් එලෙස සිය විරෝධතාවය දැක්විමට හේතු ද සිය ලිපිය මඟින් පෙන්වා දී තිබුණා.
එලෙස විරෝධය දැක්විමට හේතු ලෙස එක්නැලිගොඩ මහත්මිය පෙන්වා දි තිබු කරුණු වන්නේ 2019 වසරේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නිලධාරියාට එරෙහිව ‘මරණයට පත් කිරීම’ ඇතුළු අධිචෝදනා 17ක් ගරු නීතිපතිතුමා විසින් ගොනු කර තිබෙන බවයි.
තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ClD) විමර්ශනවලට අනුව, 2009.08.27 දින ප්‍රගීත් එක්නැලිගොඩ පළමු වරට පැහැර ගැනීම සඳහා හබරණ සිට කොළඹ දක්වා ලුහුබඳින ලද පුද්ගලයා සහ 2010.01.24 දින අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයකු ලෙස මොහු හඳුනා ගෙන තිබෙන බවත් ඇය සිය ලිපියෙන් පෙන්වා දි තිබෙනවා.
මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම මගින්, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත්, විමර්ශන නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාවලිය අධෛර්යමත් වීමටත් විශාල ඉඩකඩක් පවතින බව පෙන්වා දෙන එක්නැලිගොඩ මහත්මිය බ්‍රිගේඩියර් තනතුර දරා, දැනට විශ්‍රාමිකව සිටින මෙම නඩුවේ පලමු චූදිතයා විසින්, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන 4 වන සාක්ෂිකරුට දැනට සේවයේ නිරත හමුදා නිළධාරීන් මාර්ගයෙන් බරපතල මරණ තර්ජන හා බලපෑම් කර ඇති බව සඳහන් කර සිටිනවා.
මේ වන විට ඔහුට විරුද්ධව අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගොනුකරන ලද අංක BR 115/01/PC/2025 B වාර්තා නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවද සිය ලිපිය මඟින් ජනපතිවරයා වෙත අවධාරණය කර තිබෙනවා.
එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ලබා දුන් ප්‍රතිඥාවන් පිළිබඳව තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටීමට ලක්වන බව පෙන්වා දෙන එක්නැලිගොඩ මහත්මිය, බරපතල අපරාධ නඩුවක චූදිතයකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින නිලධාරියකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබාදීම නීතියේ ආධිපත්‍යට සහ යහපත් පූර්වාදර්ශයන්ට පටහැනි බව ඇය සිය ලිපියෙන් ජනපතිට පෙන්වා දෙනවා.
එබැවින්, මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටුවීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස එක්නැලිගොඩ මහත්මිය ලිපිය මඟින් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.



Noted