නොවැම්බර් 14 මැතිවරණය ව්‍යවස්ථාට පටහැනියි.

news november

ලබන 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙන් ම අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා ඊයේ (ඔක්. 21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

මැතිවරණ පනත අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව ත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් 11වන දා සිට සති පහක කාලයක් නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති හතක කාලය නොවැම්බර් මස 29 වන දා සම්පූර්ණ වන බව ත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා නියම කර තිබෙන නොවැම්බර් මස 14 වන දා එම නීතිමය කාල සීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නීතියට පටහැනි බව ත් සිය පෙත්සම මඟින් පෙන්වාදී තිබූ පෙත්සම්කරු එහි වරද පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තත් ඉන් පලක් නොවූ බව ද පෙන්වා දී තිබේ.

නොවැම්බර් 14 වන දා මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම මගින් ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය මෙන් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවටත් තීන්දු කරන තීන්දු ප්‍රකාශයක් නිකුත් කරනා ලෙසටත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත්, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *