පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සඳහා අද (03) දිනය විශේෂ දිනයක් ලෙස නම් කර ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට, ලබන 7 වනදා සිට තමන්ට ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයෙන් එවැනි පත්‍රිකා ලබා ගත හැකි වේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ මිලඟ දිනය හෙට වේ. පසුගිය මාසයේ 30 සහ පෙරේදා තැපැල් ඡන්දය පැවැති අතර, එම දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට, හෙට දිනයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි වේ.
එසේම, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට, ලබන 7 සහ 8 දින වලදීත් තමන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැක.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දිය හැකි පරිදි සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයෙන් තම ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය සළකා, අදාල ආයතන ප්‍රධානීන් විසින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් තීරණය කළ යුතුය.
ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර කිලෝමීටර 40ක් හෝ ඊට අඩු නම්, දින භාගයක නිවාඩුවක්; කිලෝමීටර 40ත් 100ත් අතර නම්, දිනක නිවාඩුවක්; කිලෝමීටර 100ත් 150ත් අතර නම්, දින එකහමාරක නිවාඩුවක්; සහ කිලෝමීටර 150ට වැඩි නම්, දින 2ක නිවාඩුවක් ලබා දිය යුතු බව එම කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


