ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් වාහන 863ක් මොකටද?…

anura new

ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් වාහන 863ක් තිබෙන බව ත් එසේ සැප විඳිමින් දේශපාලකයන් පමණක් රටකට විශේෂ පුද්ගලයන් නොවිය යුතු බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

නීතිය සැමට එක සමාන විට යුතු බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයෙකුට හෝ කිසි ම දේශපාලනඥයෙකුට තමන්ට රිසි සේ මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොතැබිය යුතු බව ත් ඊට අවශ්‍ය සංස්කෘතිය රටේ ස්ථාපිත කරන බව ත් ය.

“ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි රටක් ඉදිරියට යන්නේ. දේශපාලකයන් නීතියට යටත් වෙන්න ඕනෑ. දේශපාලන ප්‍රතිපත්ති ප්‍රමිතීන් රාමුවක් ඇතුළේ තියෙන්න ඕනෑ. දේශපාලනඥයෝ හිතනවා නම් නීතිය තියෙන්නේ පොදු මිනිස්සුන්ට, අපිට නෙවෙයි කියලා ඒක දේශපාලන සංස්කෘතියේ වරදක්. නීතිය සියලු දෙනාට ම පොදුයි. අපි ඒ සංකල්පයට පණ පොවනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පමණක් වාහන තියෙනවා 863ක්. මොනරාගල ඩිපෝවේ බස් කීයක් ඇති ද? ඇති තරම් වාහන පාවිච්චි කරන්න පුළුවන් ඒ අයට. කෝ නීතියක්. කෝ ප්‍රමිතියක්. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයාලා හිතනවා ජනතාවගේ මුදල් එයාලට රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලනය ප්‍රමිතිකරණයකට ලක් කරන්න ඕන නැද්ද? එයට හිටපු සහ ඉන්න සියලු ජනාධිපතිවරු ඇතුළත්. හිටපු ජනාධිපතිවරු ඉන්නේ නගරයක. හූවක දුර නැහැ රජයේ රෝහලට. හූවක දුර නැහැ පෞද්ගලික රෝහලට. නමුත් පැය 24ම ගිලන් රථයක් මිදුලේ තියා ගෙන ඉන්නවා. නමුත් ගම්වල රෝහල්වලට ගිලන් රථ නෑ. ඒවා ගන්න ඕනේ නැද්ද? කොළඹ ගෙවල් තියෙනවා නමුත් ආණ්ඩුවේ නිවාසවල ඉන්නවා. ඒවා ගන්න ඕන නැද්ද? මොනවද මේ වටිනාකම්. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරනවා.“
දිසානායක මහතා මේසේ අදහස් දැක්වූයේ, මොනරාගල ජන රැලිය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *