තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයින් සමඟ ඕස්ට්‍රේලියාවට නොයන බවට තොරතුරු වාර්තා වේ.
ඒ, අනුව ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වන බව ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වේ.
ෂර්මාට එම තරගය අහිමිව යාමත් සමඟ පළමු තරගයේ දී ඉන්දීය පිළ මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට හිමිවනු ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
ඉන්දීය සංචිතය ලබන ඉරිදා සහ සඳුදා කණ්ඩායම් දෙකකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සියලු කටයුතු සූදානම් කර ඇත.
කෙසේ වෙතත්, පුද්ගලික හේතූන් මත රෝහිත් ෂර්මා කණ්ඩායම සමඟ ගමන් නොකරන බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර පළමු තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය නම්කර ඇති අතර ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ජෝෂ් ඉන්ග්ලිස් ද කැඳවා තිබීම විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නොවැම්බර් 22 වැනිදා පර්ත් හිදී ආරම්භ වීමට නියමිතයි.


