මෙවර මැතිවරණය ජයග්‍රහණක්ද ? විජයග්‍රහණයක් ද ?

election web 1

ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ තනි පක්ෂයක් විසින් හිමි කරගත් වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව හිමිකර ගනිමින් ජාතික ජන බලවේගය 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී.

1971 ඔක්තෝබර් මස 21 වෙනි දින සෙනෙට් සභාව අහෝසි කර 1972 මාර්තු මස 22 වන දින ජනරජ ව්‍යවස්ථාව ස්ථාපනය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 168 තෝරාපත් කර ගැනීම සඳහා ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගන්නා ලද අතර 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද එකම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 168න් 140ක් ජයග්‍රහණය කරමින් 5/6 බලයක් ලබාගන්නා ලදි.

නමුත් 1977 සිට 1989 දක්වා අවුරුදු 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම හැකිලූ අඳුරු කාලපරිච්ඡේදයක් වන අතර එම කාලය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්විණි.

එසේම 1947 සිට 1977 දක්වා ම ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වූයේ බහුතර ඡන්ද ක්‍රමය යටතේ වන අතර ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6 ක බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා ගත්තේ ද මෙම සරල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය.
නමුත් 1989 සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ශ්‍රී ලාංකීය මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම මනාප සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය ලෙස ජාතික ජන බලවේගය මෙවර මැතිවරණ ප්‍රතිඵලය සමඟ ඉතිහාසගත වනු ඇත.

මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණේ 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානය වූ අතර එය 60.33%ක ඡන්ද ප්‍රතිශතයකි. නමුත් මෙම ඡන්ද ප්‍රතිශතය අභිබවමින් මෙවර ජාතික ජන බලවේගය විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 61.56% කි.

එසේම මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ තනි පක්ෂයක් විසින් ජයග්‍රහණය කළ වැඩිම ඡන්ද කොට්ඨාස ගණන 2010 ජනතා නිදහස් සන්ධානය විසින් ජයග්‍රහණය කර තිබූ කොට්ඨාස 136ක් වන අතර එම සංඛ්‍යාව අභිබවමින් ජාතික ජන බලවේගය විසින් මෙවර ජයග්‍රහණය කර ඇති කොට්ඨාස ගණන 152කි. එමෙන්ම ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂයක් විසින් ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ලෙස වාර්තා වන්නේ ද මෙවර ජාතික ජන බලවේගය විසින් දිස්ත්‍රික්ක 21 ක් ජයග්‍රහණය කිරීමයි.

එසේම මැතිවරණයක ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව වන ආසන 141ක් හා වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව වන ආසන 18 ක් ජයග්‍රහණය කිරීමද මෙවර මැතිවරණ ඉතිහාසයේ වාර්තා අලුත් කිරීමකි.

අවසාන වශයෙන් ලාංකේය මැතිවරණ ඉතිහාසයේ පක්ෂයක් ලැබූ ඉහළම ඡන්ද ප්‍රමාණය වන 6863186 ක ඡන්ද ප්‍රමාණයක් මෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 2/3 ක බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ එකම පක්ෂය බවට ද පත් වෙමින් ජාතික ජන බලවේගයේ මෙවර මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික විජයග්‍රහණය මෙසේ සනිටුහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *