ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 37 දෙනකුගෙන් මුදලින් රුපියල් දෙකෝටි දොළොස් ලක්ෂ අනූ පන්දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබ වසර 02ක් සැඟව සිටි කාන්තාවක් හා ඇයගේ සැමියා කොළඹ අපරාධ වමර්ශණ ඒකකය මගින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහියංගණ මහෙස්ත්‍රාත් ඒ. ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියම කළේය.
මෙසේ අත්අඩංගුවට පත් වූයේ රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කර 2022 වසරේ සිට පොලිසි හා අධිකරණය මඟහරිමින් සිටි මුදල් වංචාවේ ප්‍රධාන සැකකාරිණිය වන අතර, ඇය වත්තල, හැඳල, කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අත්අඩංගුවට පත් ඇගේ සැමියා මහියංගණය 04 කණුව හද්දත්තාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට පෙර ඔහුද මහියංගණ පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස්ව සිටි අයෙකි.
මෙම සැකකරු සහ ඔහුගේ බිරිය ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මහියංගනය, බදුල්ල, බිබිල සහ අම්පාර යන ප්‍රදේශවල පුද්ගලයන් 37ක් රවටා පුද්ගලයන් මුළා කොට මුදල් ලබාගෙන විදේශ රටවලට නොයවා පොලිසිය හා විදේශ සේවා කාර්යාංශය මඟ හරිමින් සිට ඇති බව පැවැසේ.
පොරොන්දු වූ පරිදි තමන් විදේශ රැකියාවලට නොයවන හෙයින් තමන් දුන් මුදල් ආපසු දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවලදී සැකකරුවන් ඔවුන්ට මුදල් නොදී තර්ජනය කරන බවට පොලිසියට කරන ලද පැමිණිලිවලට අනුව මීට වසර 2කට පෙර මහියංගණ පොලිසිය මගින් විදේශ රැකියා ඒජන්සියක රැකියාව සිදු කළ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය මඟහරිමින් සැඟව සිටි මෙම වංචාවේ ප්‍රධාන කාන්තාව පසුගියදා වත්තල ප්‍රදේශයේ සැඟව සිටියදී කොළඹ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ විමර්ශන ඒකකය හා මහියංගණ පොලිසිය මගින් සිදු කරනු ලැබේ.


