කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් හී පැතිර යන ලැව් ගිනි ත්‍රිත්ත්වයට අමතරව තවත් ලැව් ගින්නක් දකුණු දිග කැලිෆෝනියා හී වෙන්චුරා යන ප්‍රදේශයේ ඇතිව තිබෙනවා.
මෙම ලැව් ගින්න ඔටෝ ෆයර් නමින් හඳුන්වා ඇති අතර එය මේ වන විට අක්කර 56ක භූමි ප්‍රමාණයක පැතිර ඇති බව සඳහන්.
ඉදිරි පැය 48ක කාලය තුළ දකුණු දිග කැලිෆෝනියාවට බලපාන සැන්ටා ඇනා වියළි සුළං ප්‍රවාහයන් හී වේගවත්වීම සමග ලැව් ගින්න පැතිර යාම වේගවත් විය හැකි බවයි වාර්තාවන්නේ.
මේ අතර ඊටන් ලැව් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්වු ලොස් ඇන්ජලිස් හී ඇල්ටඩීනා ප්‍රදේශය හරහා හමන දැඩි සුළං සමගින් එම ප්‍රෙද්ශයේ නැවතත් ගිනි ගැනීම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ඊටන් ලැව් ගින්න පැතිරයාමත් සමඟ එම ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු නැවත පැමිණ පැය 6ක කාලයක් ලැව් ගින්න සමගින් පොර බැද
තමන්ගේ නිවස සහ අසල්වැසි නිවාස දෙකක් බේරාගත් පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාකාස් දසිගෙනිස් – ලැව් ගින්නෙන් නිවස බේරාගත් පුද්ගලයා
(අපිව මේ ප්‍රදේශයෙන් ඉවත් කළා. නමුත් මම ඒ් ගැන ප්‍රවෘත්ති තුළින් නරඹද්දි මේ ගින්න පාලනය කිරීමට නොහැකි බව මට වැටහුණ නිසා එය බලන්න මම පැමිණියා. මම ආපසු එද්දි කවුරුත් නැහැ ,හැමතැනම ගිනි දැල් පැතිරිලා.)
අනතුරුව මාකාස් විසින් සිය නිවසෙන් සොයා ගනු ලැබු පැරණි වතුර පොම්පයක් සොයාගෙන එහි වතුර බට අසල්වාසියෙකුගේ නිවසේ නාන තටාකයට යොදා ජලය රැගෙන ලැව් ගින්න සමග සටන් කිරීම ආරම්භ කර තිබුණා.
මාකාස් දසිගෙනිස් – ලැව් ගින්නෙන් නිවස බේරාගත් පුද්ගලයා
(ඒ වගේම මම මේක හරියට කරන්න පුළුවන් කියලා දැනගෙන සිටියා. ඒකෙන් කියන්නේ මම මෝඩ නැහැ කියන එක, නමුත් මට මෙතනට ඇවිත් මැරෙන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් මට දැනුනා මට මෙය කළ හැකි බව, ඉතින් ඒ ගැන කිසිදු උත්සාහයක් ගත්තේ නැත්නම් අවසානයේදී ඉතිරි වන්නේ දුකක් පමණයි.)
අවසානයේදී මාකාස් පැය 6ක කාලයක් ලැව් ගින්න සමගින් සටන් වැද සිය නිවස සහ ඔහුගේ අසල්වැසි නිවාස දෙකත් ඊටන් ලැව් ගින්නෙන් බේරා ගැනීමට සමත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


