හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන් කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව පවසා ඇත.
කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී ඇත.
අදාළ සැකකරුගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන තමන්ට ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ආනන්ද විජේපාල අමාත්‍යවරයා විසින් ඒ අනුව, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට උදය ගම්මන්පිල මහතාට අවස්ථාව ලබාදුන් බව වැඩිදුර ප්‍රකාශ කර ඇත.
ආනන්ද විජේපාල අමාත්‍යවරයා එම සාකච්ඡාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ සිදුවූ බව වැඩිදුර සඳහන් කර ඇත.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 08 වනදා සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.


