විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු සූර්ය පැනල අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්……….……

WhatsApp Image 2025 04 16 at 16.35.55

ලංකා විදුලි බල මණ්ඩලය විසින් උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව තීරණය කර ඇත.

එමෙන්ම විදුලි බල මණ්ඩලය විසින් ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරූ​ප ලෙස සමාන විය යුතු බවත් විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවත් ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩු කළ යුතු බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවති අතර කිලෝවෝට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනල වල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත් බව නි‍වේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ඊට අමතරව විදුලි ඉල්ලුම අඩු අවස්ථාවල දී නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ද අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතර, නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වන දින පෙරවරුවේ නතර කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම්දීම් වලට අනුව වහල මත සුර්ය බලශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *