අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී පසුගිය 05 වනදා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි මිලිග්‍රෑම් 400ක් සමගයි.
පසුව අධිකරණ නියෝග මත දින හතක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි විදුහල්පතිවරයා සහ හෙරොයින් ග්‍රෑම් 69ක් සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරචිචි ඉකුත් නොවැම්බර් 12 වන දා නියෝග කළා.
සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ අතර සිය සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට පත්වීමත් සමග ඇය සිය මන්ත්‍රි ධූරයෙන් ද ඉල්ලා අස් වූවා.
සැකකාර විදුහල්පතිවරයා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු කටියාව යාය 10 ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගනු ලැබුවා.


