ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 21 ට අඩු පිරිමි ළමයින් 5,671 ක් සහ ගැහැණු ළමයින් 93 ක් හෙරොයින්, මරිජුවානා සහ ICE ඇතුළු භයානක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව DIG අශෝක ධර්මසේන මහතා අනාවරණය කළේය.
මෙම සංඛ්‍යාලේඛන මත්ද්‍රව්‍යවලට එරෙහි ‘A Nation United’ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ දෙවන සැසියේදී ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව දරුවන් වැඩපුරම භාවිතා කරන්නේ අයිස් මත්ද්‍රව්‍ය බව එහිදී වාර්තා විය.
ඔහු පැවසූ පරිදි 2025 ජනවාරි පළමුවෙනිදා සිට අද දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1736 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3784ක්, ගංජා කිලෝ 15 843ක්, කොකේන් කිලෝ 32ක් සහ මත්පෙති කිලෝ 6 12 833ක් අත්අඩංගුවට ගෙන ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසියට ජනාධිපති ලේකම් කාර්යාලයේදි 25 දා පැවැත්වීය.
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ අතර මේ පිළිබඳව සියලු අදහස් එකතු කර ගනිමින් සියලු දෙනාට පිළිගත හැකි නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ප්‍රකාශ කළේය.
එසේම, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කර ගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවටද, පුනරුත්ථාපන කටයුතු සඳහා විධිමත් පුහුණු සංචිතයක් ගොඩනැගීමට ද උපදෙස් දුන්නේය.
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු වන විට සම්පාදනය කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයටද උපදෙස් ලබා දීම විශේෂත්වයකි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට අනුබද්ධව ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය වන ආකාරයටම ආයතන මට්ටමින්ද කමිටු ගොඩනඟා ගනිමින් මෙම ජාතික කර්තව්‍යයට සියලු ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස නිලධාරින් දැනුවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.


