2026 මාර්තු 4 වන දින, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) සිය විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට භාර දුන් අතර.
මෙම වාර්තාවට අනුව, ගුණාත්මකභාවය අඩු ගල්අඟුරු නැව් 9ක් ආනයනය කිරීම නිසා විදුලිබල මණ්ඩලයට සහ අවසානයේ ජනතාවට රුපියල් බිලියන 1.8කට අධික මූල්‍ය බරක් පැටවී ඇති බව හෙළිදරව්වේ .
මෙම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය නිසා රු. බිලියන 1.8කට වඩා වැඩි මුදලක් අහිමි වී ඇති බව PUCSL වාර්තාව සහ කමිටු සභාපති එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා තහවුරු කරයි . මීට අමතරව, විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය පවසන්නේ අඩු ගුණාත්මක ගල්අඟුරු දහනය නිසා විදුලි උත්පාදන ධාරිතාව අඩුවීමෙන් පමණක් දිනකට රු. මිලියන 75ක පමණ පාඩුවක් සිදුවන බවයි .
එමෙන්ම අඩු ගුණාත්මක ගල්අඟුරුවල අධික අළු ප්‍රමාණය (සමහර නැව්වල 21% දක්වා) නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බොයිලේරු සහ ජනක යන්ත්‍රවලට බරපතල හානි කළ හැකි බව බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රාලපනාව අනතුරු අඟවයි . මෙය බලාගාරයේ කාර්යක්ෂමතාව අඩු කරන අතර නිතර අලුත්වැඩියා කිරීම් සහ බලහත්කාරයෙන් වසා දැමීම්වලට හේතු විය හැක. එමෙන්ම පරිසරවේදී හේමන්ත විතානගේ පෙන්වා දෙන්නේ මෙම අළුවල අඩංගු විෂ සහිත බැර ලෝහ පරිසරයට හා මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් විය හැකි බවයි .


