සභාපති බොරු කිව්වාද? සභාපති අසරණකර ආණ්ඩුව තෙල් මිල වැඩි කළාද?

sabapathi

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති “මිල සූත්‍රය” සහ ඉන්ධන ප්‍රතිපත්තිය යනු දේශපාලන තීරණවලට නොව ආර්ථික යථාර්ථයට අනුව මිල තීරණය කිරීම සඳහා නිර්මාණය කළ ක්‍රමවේදයකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල, විදේශ විනිමය අගය සහ ආනයන වියදම් වැනි සාධක සැලකිල්ලට ගනිමින් නියමිත කාලසීමාවන් තුළ මිල සංශෝධනය කළ යුතු බව එහි මූලික අදහස විය.
නමුත් එම ක්‍රමවේදය පසෙකලා හදිසියේම ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ.
එම සංශෝධනය අනුව,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.24 කින් වැඩි කර රු.317 දක්වා,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.25 කින් වැඩි කර රු.365 දක්වා,
සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රු.22 කින් වැඩි කර රු.303 දක්වා,
සුපර් ඩීසල් ලීටරයක මිල රු.24 කින් වැඩි කර රු.353 දක්වා,
කෙරොසින් තෙල් ලීටරයක මිල රු.13 කින් වැඩි කර රු.195 දක්වා ඉහළ නංවා තිබේ.

මෙම සංශෝධනයෙන් පැහැදිලි වන්නේ ජනතාව දිනපතා භාවිත කරන ප්‍රධාන ඉන්ධන සියල්ලම එකවර ඉහළ දමා ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාම සෘජුවම බලපාන්නේ ප්‍රවාහන වියදම්, භාණ්ඩ ප්‍රවාහනය සහ සේවා ගාස්තු මතය. එබැවින් මෙවැනි තීරණ අවසානයේ ජනතාවගේ ජීවන වියදම තවත් ඉහළ යාමට හේතු වනු ඇත.

මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ආණ්ඩුව විසින්ම හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය සහ ප්‍රතිපත්තිය නොසලකා හදිසි තීරණ ගැනීමයි. මිල සූත්‍රය හඳුන්වා දුන්නේ විනිවිදභාවය සහ ස්ථාවරතාවය ඇති කිරීම සඳහා නම්, එය පසෙකලා මෙවැනි තීරණ ගැනීම එම ප්‍රතිපත්තියේ විශ්වාසනීයත්වය ගැන සැක මතු කරයි.
එක් පැත්තකින් ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බවත් ජනතාවට සහන ලබාදෙන බවත් පවසන අතර, අනෙක් පැත්තෙන් ජනතාවගේ ජීවන වියදම වැඩි කරන තීරණ ගැනීම ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ගැටලු රැසක් මතු කරයි.
ඒ නිසා මෙවැනි හදිසි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට හේතු වූ ආර්ථික තත්ත්වය සහ මිල සූත්‍රයෙන් බැහැර වීමට සිදු වූ කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් වන අතර එසේ නොමැති නම් “මිල සූත්‍රය” සහ “ඉන්ධන ප්‍රතිපත්තිය” යනුවෙන් ප්‍රකාශ කරන සංකල්ප කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තවත් දුර්වල වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *