විදේශයන්හි සැඟවී සිටි අපරාධකරුවන් එක දිගට අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නමැත්තා අද අලුයම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත. මෙරටදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකුගෙන් ලැබුණු තොරතුරු මත ඩුබායි හි මහල් නිවාස සංකීර්ණයක සිටියදී ශ්‍රී ලංකා බුද්ධි අංශ හා ඩුබායි පොලිසිය එක්ව මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට ගෙන ඒම වැළැක්වීමට සැකකරු ඩුබායි අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළද, එම පෙත්සම නිශ්ප්‍රභ කළ අධිකරණය මොහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝග කළේය. කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මොහුට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, කොළඹ මහාධිකරණය සහ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින්ද විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි. දිවයිනට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන සහ ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *