ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න, නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

lawyes
ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න ,නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා.
රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් නීතිඥ සංගමය ඊයේ (22) දිනැතිව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
2025 අප්‍රේල් මාසයේදී හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ දක්වා ස්ථිර නිලධාරියෙකු පත් නොකිරීම සම්බන්ධයෙනුයි නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති විගණකාධිපති ධුරය, සමස්ත රාජ්‍ය ආයතනවල වගවීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරයක් ඉටු කරන බව පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය වෙනුවෙන් විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙමින් පවතිනවා.
මෙවැනි අවස්ථාවක මූල්‍ය විනිවිදභාවය උපරිමයෙන් තිබිය යුතු බවයි නීතිඥ සංගමය අවධාරණය කරන්නේ.
ජනාධිපතිවරයා මීට පෙර යෝජනා කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනා ගැනීමට අපොහොසත් වී ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
එබැවින්, දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන, ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති, ව්‍යවස්ථාදායක සභාවේ පොදු එකඟතාවය දිනාගත හැකි පුද්ගලයෙකු මෙම ධුරයට පත් කළ යුතු බව එම ලිපියේ සඳහන්.
මෙම ලිපිය සඳහා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන යන අය අත්සන් තබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *