කවුරුවත් බලහත්කාරයෙන් රාජ්‍ය සේවයට අරගෙන නැහැ. ආවානම් වැඩකරන්න – නලින්ද
රාජ්‍ය සේවකයින් බලහත්කාරයෙන් රාජ්‍ය සේවාවට ඇතුළු කර නොගත් බවත්, තම කැමැත්ත මත පමණක් රාජ්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලැබී ඇති බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (27) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පත්වීම ලබාගැනීමෙන් පසුව රාජ්‍ය සේවයට ඇතුළත් වන විට තමා විසින් සිදුකළ යුතු වගකීම්වල භාරදුරභාවය පිළිබඳව අවබෝධයකින් සිටිය යුතු බවත්, මෙම පත්වීම ලබාගැනීමට පෙර ගත කළ සාමාන්‍ය ජීවිතය ගත කරමින් හෝ එම නිදහස්කාමී ජීවිතය ගත කරමින් සිටිය නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“ඔබව මේ සේවාවට බලහත්කාරයෙන් ඇතුල් කරගෙන නෑ. ඔබ වැඩිහිටි අය. මම බැලුවා පත්වීම් ලබා දීපු අය ගොඩක් අය මම ඒ ලෙවල් කරාට පස්සේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඔබ දැන් වැඩිහිටියෝ. ඔබට ඔබේ කැමැත්ත මත තමයි මේ රාජ්‍ය සේවයට ඇතුලත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මෙතන ඉන්නේ 2022 දී අයදුම් කරපු අය. ඒ නිසා වසර කීපයක්මත් තිබුණා මේකට ඇතුල් වෙනවද නැද්ද කියලා තීන්දු කරන්න. දැන් එහෙම කාලයක් බලාගෙන ඉඳලා රාජ්‍ය සේවයට, සෞඛ්‍ය සේවයට ඇතුල් වෙන්න තීන්දු කරගත්ත 213කට තමයි අද අපි පත්වීම් ලබාදෙන්නේ.
ඒක නිසා මම හිතනවා මේ රාජ්‍ය සේවය පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව, ඔබට තිබෙන වගකීම පිළිබඳව හොඳම අවබෝධයකින් මෙතනට එන්න ඇති කියලා. මේ පත්වීම ගත්තට පස්සේ රාජ්‍ය ඇතුලත් වෙනකොටම ඔබ හිත හදාගන්නට ඕනා මේකේ වගකීම භාරදුරභාවය පිළිබඳව. ඊට කලින් ගත කරපු සාමාන්‍ය ජීවිතේම ගත කරමින් ඒ නිදහස්කාමී ජීවිතයම ගත කරමින් සියලු දේවල්ට එක්ස්කියුස් ලබා දෙමින් යන ගමනක් රාජ්‍ය සේවාව තුළ යන්නත් බැහැ. එහෙම කරන්නත් බැහැ. එහෙම නම් රාජ්‍ය සේවයට එන්න ඕනෙත් නෑ…”
එමෙන්ම, පසුගිය වසරක කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත 10,000 ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගත් බවත්, ඉන් 8,000 ක් පමණ බඳවා ගැනීමට කටයුතු සිදු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේ හෙද සේවාව සඳහා ඉතිහාසය තුළ වැඩිම ප්‍රමාණයක් ලෙස 4141 ක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් ඔහු පෙන්වාදුන්නා.
වත්මන් රජය රාජ්‍ය සේවාවේ අවශ්‍යතා නොසළකා, අනාගතය පිළිබඳව දැක්මකින් තොරව විශාල කණ්ඩායම් ලෙස රාජ්‍ය සේවාවට බඳවා ගැනීම් සිදු නොකරන බවත්, නිසි සැළසුමකට හා අවශ්‍යතාවයට අනුව රටේ පවතින මූල්‍ය තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කරමින් ඒ සඳහා වන කමිටුවේ අනුමැතිය යටතේ පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කියා සිටියා


