යකඩ පාලමක කොටස් විකුණූ RDA තිදෙනෙක් මාට්ටු
ගලවා ඉවත්කරන ලද යකඩ පාලමක ටොන් දෙකකට වඩා බැරැති කොටස් කඩුගන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 04කට අළෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියෙකු, වැඩ පරික්ෂකවරයෙකු හා රියැදුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වසරකට පමණ ඉහතදී හඟුරන්කෙත පේරවංගුවේ තිබූ මෙම පාලමේ කොටස් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරි රථයකින්ම කඩුගන්නාවට රැගෙන ගොස් රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලකට විකුණා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ අදාළ ස්ථානයේ නව පාලමක් ඉදි කිරීමේදී මොවුන් පැරණි පාලමේ කොටස් මෙලෙස අළෙවි කර තිබෙන බව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පාලමේ යකඩවලින් කොටසක් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට භාරදී ඉතිරි කොටස් අළෙවි කර තිබෙන බව මූලික විමර්ශන මගින් හෙළිව තිබෙනවා.
මෙම සේවකයින් තිදෙනා සම්බන්ධයෙන් මූලීක විමර්ශනය සිදුකර මේ වනවිට විධිමත් විනය පරීක්ෂණය සිදු කරමින් පවතින බවත් එම අවස්ථාවේ සේවයේ සිටි වැඩ පරීක්ෂකවරයා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින බවත් වාර්තා වෙනවා.
සැකකරුවන් වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


