මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි
එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කරනු ලැබුවා.
නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ “මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි.
තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන් වනවා.
නිකොලස් මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව යලි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තබා තිබෙනවා.
ඉන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝක්හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බවයි.
අදාළ ක්‍රියාමාර්ගය අමෙරිකාව ජාත්‍යන්තර නීති රීති වලට ගරු නොකිරීමක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මේ අතර වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි රැස්වීමක් ද ඊයේ කැඳවා තිබුණා.
එහිදී අමෙරිකාවේ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇතැම් රටවල් දැඩි විවේචන එල්ල කළ අතර තවත් රටවල් අමෙරිකාව ගත් තීරණය පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ද වෙනිසියුලානු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වී සිටින බවයි.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර මෙම ගැටලුව සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


