ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා, අද (පෙබරවාරි 27) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය . ඔහුව රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් ඊයේ (26) ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවරවල ප්‍රතිඵලයක් ලෙස මෙම භාරදීම සිදුවේ . පොඩි ලැසී 2024 දෙසැම්බර් මාසයේදී ඇප මත මුදාහැරීමෙන් පසු විදෙස් ගමන් තහනමක් ක්‍රියාත්මක වියදී ඉන්දියාවට පලා ගොස් තිබූ අතර, පසුව 2025 ජනවාරි මාසයේදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමග මුම්බායි නුවරදී අත්අඩංගුවට පත් විය .
අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’, ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කරගත් මෑත ඉතිහාසයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි . ඔහු අපරාධ ලෝකයට පිවිසීමට හේතුව වූයේ පාතාල කල්ලි ප්‍රධානියෙකු වූ ඔහුගේ පියා ‘තෙල්වත්තේ වසන්ත’ 2007 වසරේදී විරුද්ධ කල්ලියක වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වීමයි . එම ඝාතනයෙන් පසු, නව යොවුන් වියේ පසුවූ ‘පොඩි ලැසී’ පියාගේ මරණයට පළිගැනීම සඳහා අපරාධ ලොවට පිවිසි බවට වාර්තා වේ .


