මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, වෙනස්කම්වලට අනුගත වීම, නවෝත්පාදනය සහ මහජන සේවය සඳහා ඇති කැපවීම මත බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශත සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ, මිනින්දෝරු වෘත්තිය රටේ තිරසාර සංවර්ධනය, ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මූලික වෘත්තියක් බවයි.
රජයේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ වැඩසටහන යටතේ වාර්ෂිකව ඉඩම් කැබලි 50,000කට ආසන්න ප්‍රමාණයක් මැන සලකුණු කිරීම මෙන්ම, වාරිමාර්ග සහ අධිවේගී මාර්ග ඇතුළු ජාතික ව්‍යාපෘති රැසක සාර්ථකත්වයට මිනින්දෝරුවන්ගේ දායකත්වය ඉතා වැදගත් බවද ඇය පෙන්වා දුන්නා.
එමෙන්ම, භූගෝලීය තොරතුරු පද්ධති (GIS), කෘත්‍රිම බුද්ධිය (AI), ඩ්‍රෝන තාක්ෂණය, දුරස්ථ සංවේදනය (Remote Sensing) සහ ඩිජිටල් සිතියම්කරණය වැනි නවීන තාක්ෂණයන් සමඟ මිනින්දෝරු වෘත්තිය වේගයෙන් පරිවර්තනය වන බවත්, ඒ අනුව තරුණ වෘත්තිකයන් තම තාක්ෂණික දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කරගත යුතු බවත් අගමැතිවරිය අවධාරණය කළා.
දේශගුණික විපර්යාස, ගංවතුර, නියඟ සහ වෙරළ ඛාදනය වැනි අභියෝග හමුවේ නිවැරදි භූගෝලීය දත්ත සහ විද්‍යාත්මක සැලසුම්කරණය රටේ අනාගත සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කළා.
අනාගත මිනින්දෝරු පරපුර තාක්ෂණික නිපුණතාවයට අමතරව අවංකභාවය, නවෝත්පාදන හැකියාව සහ මහජන සේවය සඳහා වූ කැපවීමෙන් යුතුව බිහිවිය යුතු බවද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


