අගෝස්තු 16 පස්වරුවේ, කොළඹ 09 මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නාමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා විය.මෙම දරුවා වූයේ එම ප්‍රදේශයේම පදිංචි අබ්දුල් හසීන් නම් ළමයෙකි. මව පවුල අතහැර ගොස් තිබීමත්, පියා මත්පැන් පානයට ඇබ්බැහිව සිටීමත් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත දරුවා මිත්තණියගේ භාරකාරත්වයට පත්කර තිබුණි.
මුලික විමර්ශන අනුව, දරුවා තවත් ළමයින් සමග 14 වන මහලේ පිහිටි පිහිනුම් තටාකය අසල සිට අවට නිරීක්ෂණය කරමින් සිටියදී අනතුර සිදුවිය. අනාරක්ෂිත ස්ථානයකින් පිටතට යාමට උත්සාහ කිරීමේදී ඔහු අඩි 120ක් පමණ පහළට ඇද වැටී තෙවැනි මහලේ විවෘත කොටසකට ගැටී ඇත.මෙය දුටු පුද්ගලයෙකු මරදාන පොලිසියට දැනුම් දී ඇති අතර, මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සී.එස්. පත්ම කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වයි.


