පානදුර පාසල් සිසුන් දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදහන් වෙයි………..……

WhatsApp Image 2025 04 17 at 18.03.02

පානදුර වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ කර ඇත.

අප්‍රේල් 16 වන ඊයේ දින සවස 5.30ට පමණ බණ්ඩාරගම සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් විනෝදය සඳහා පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී පස් දෙනෙකු දියවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙන බව පවසා ඇත.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පානදුර වෙරළ නාවික හා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් ඉන් පුද්ගලයින් තුන්දෙනෙකුගේ දිවි ගලවා ගත් අතර ඉතිරි දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇත.

මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මුහම්මදු නම් වයස අවුරුදු 15ක දරුවෙක් සහ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි යසීර් අර්ෆාත් අහමඩ් නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෙක් මෙලෙස දියේ ගිලී අතුරුදහන් වී ඇත.

එක් දරුවෙක් රළ පහරට ගසා ගෙන යන අයුරු දැක අනෙක් දරුවා ඔහුව බේරාගැනීමට උත්සාහ දැරීමේ දී දරුවන් දෙදෙනාම මුහුදේ අතුරුදන් වී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා ඇත.

කෙසේ වෙතත් මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවන්ගේ සිරුරු මේ වනවිටත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *