දකුණු ආසියානු ‘ක්‍රිකට් යුද්ධය’: භූ දේශපාලනය ක්‍රීඩාව ගිලගනී ද?

WhatsApp Image 2026 01 22 at 16.53.09 8

දකුණු ආසියානු ‘ක්‍රිකට් යුද්ධය’: භූ දේශපාලනය ක්‍රීඩාව ගිලගනී ද?

2026 ICC T20 ලෝක කුසලානය ආරම්භ වීමට දින 18ක් වැනි කෙටි කාලයක් තිබියදී, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කර ඇත. බංග්ලාදේශයේ තරග ඉන්දියාවේ ම පැවැත්වීමට ICC තීරණය කර ඇති අතර, ඊට විරෝධය පාමින් බංග්ලාදේශය තරගාවලිය වර්ජනය කිරීමේ අවදානමක් මතුව තිබේ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂක ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දෙන්නේ මෙම ගැටුම පිටුපස ප්‍රධාන කරුණු දෙකක් ඇති බවයි. නෙරපා හරින ලද බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට ඉන්දියාව රැකවරණය දීම පිළිබඳ බංග්ලාදේශ ජනතාව තුළ ඇති අසහනය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) බලපෑම මත බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් නිදහස් කිරීමට සිදුවීම, බංග්ලාදේශය තමන්ට එල්ල කළ ‘කම්මුල් පහරක්’ ලෙස ලෙස දැකීම එම හේතූන් දෙකයි.
“දේශපාලනය සහ ක්‍රීඩාව පටලවා නොගත යුතුයි”ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පවසන්නේ දේශපාලන ප්‍රශ්න නිසා ක්‍රීඩාවට හානි නොවිය යුතු බවයි. බංග්ලාදේශයේ තරග ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස කරන ඉල්ලීම ප්‍රායෝගික නැත. මන්දයත් සියලු සැලසුම් දැනටමත් අවසන් කර ඇති බැවිනි. ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය අතර ගැටුම් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව පමණක් තවමත් මෙම රටවල් තුන සමඟම සුහදව සිටින එකම රට බව ඔහු පෙන්වා දෙයි. බංග්ලාදේශය තරගාවලිය වර්ජනය කළහොත් ඔවුන්ගේ ICC සාමාජිකත්වය පවා අහිමි වීමේ අවදානමක් පවතී.
ආචාර්ය හසිත් කන්දඋඩහේවාට අනුව, මෙය හුදෙක් ක්‍රිකට් ප්‍රශ්නයක් නොව “වර්ධිත රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක” පෙරනිමිතියකි.ICC සහ BCCI මත ඉන්දියාව පතුරුවා ඇති ආධිපත්‍යය නිසා, මෙම සිදුවීම ඉන්දියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ද බලපෑ හැකිය.ක්‍රීඩකයන් අතර පැවති සුහදතාවය පවා දැන් දේශපාලනීකරණය වී ඇත. මෑතකදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් පකිස්ථාන ක්‍රීඩකයන්ට අතට අත නොදීම වැනි සිදුවීම් මෙයට උදාහරණ වේ.
“දේශපාලනය ගෑවුණු තැන ක්‍රීඩාව විනාශ වෙනවා. ඔවුන්ට පේන්නේ ක්‍රීඩාවේ ජීවගුණය නෙමෙයි, තමන්ගේ දේශපාලන වාසිය පමණයි.”
– රොෂාන් අබේසිංහ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *