මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ – නාමල් රාජපක්ෂ

WhatsApp Image 2026 02 01 at 17.38.25 2

මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ – නාමල් රාජපක්ෂ

තමන්ව හෝ තමන්ගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත්, එසේත් නැතිනම් සිරගෙදරට යොමු කළත්, මෙම රජය සිදුකරන මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යට අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, මෙම රටේ ආගමික සහ හෙළ සංස්කෘතික අනන්‍යතාවයට සිදුකරන විනාශය, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට එරෙහිව පවතින අසාධාරණය සහ කුඩු කන්ටේනර් ජාවාරම් වැනි බරපතළ අපරාධ දණ්ඩ මුක්තියෙන් වැසීමට රජයට ඉඩක් නැති බවයි.

“අපි ඕනෑම දේකට ලෑස්තියි, අපි බලාගමු” යැයි පවසමින් නාමල් රාජපක්ෂ මහතා රජයට සෘජු අභියෝගයක් එල්ල කළා.

ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් තම දේශපාලන බලවේගය ඉතා ශක්තිමත් වී ඇති බවත්, ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රචාරය කළ බොරු දැන් එකින් එක හෙළි වෙමින් පවතින බවත් ඔහු පෙන්වාදෙනවා.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මූලික වූ පිරිස් අද වන විට එදා රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගැසීම සඳහා මුදල් වියදම් කළ ආකාරය ප්‍රසිද්ධියේ හෙළි කරමින් සිටින බව නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

වත්මන් රජය යටතේ සිදුවන මහා පරිමාණ ගල් අගුරු වංචාවක් පිළිබඳව කරුණු හෙළි වෙමින් පවතින බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, බාල ගල් අගුරු ගෙන්වා කුඩා දඩයක් මගින් එය යටපත් කිරීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කළා.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් දරුවන්ගේ මනස විකෘති කරන සහ රටේ සංස්කෘතියට නොගැලපෙන කරුණු විෂය නිර්දේශයට ඇතුළත් කිරීම නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

ආපදාවට ලක්වූ අසරණ ජනතාවට සහන සැලසීමේදී ලබා දුන් චෙක්පත්වල මුදල් නොමැතිව ඒවා යළි හැරී ඒම රජය ජනතාව රවටන බවට ඇති හොඳම සාක්ෂිය බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

ප්‍රාදේශීය සභා මැතිවරනය වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට ගොඩනැගුණා. අපට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කියපු බොරු අපි දකිනවා යහපාලන ආණ්ඩුව හදනකොට මූලික වුණ බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා කියනවා එදා රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කළේ, ඒ මුදල් ගත්තු අයත් කියනවා. මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා. එහෙම තමයි බොරුව සමාජගත කළේ. සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරුව ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය, පොලීෂිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒකෙන් සමස්ථ සමාජයම, රටම, රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා. ඒවාටත් වගකියන්න වෙයි.

ඒක තමයි ලොකුම අපරාධය. එක පැත්තකින් චරිත ඝාතනය කරනවා. බොරුව සමාජගත කරනවා. සමාජයේ වෛරය, ඉරිසියාව, කුහකත්වය පතුරවනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕනෙ හින්දා මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරනවා. ඒක තමයි සැබෑ අවභාවිතය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා ආණ්ඩුව අපහසුතාවට පත් වුණා. සමාජයට,, රටට නොගැලපෙන දේවල් දරුවන්ගේ මනස විකෘති කරන්න ඇතුල් කරලා. ඒ වගේම දැන් ගල් අගුරු සම්බන්ධයෙන් මහා වංචාවක් හෙළි වේගෙන යනවා. ආණ්ඩුව කියනවා බාලයි තමයි පොඩි දඩයක් ගහලා ගත්තා කියලා. ආණ්ඩුව තමන්ම කියනවා ගල් අගුරු නම් බාලයි පොඩි දඩයක් ගැහුවා කියලා. දඩේ ගැහුවත්, නැතත් ඉල්ලුම් කරපු එක නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. බාල බඩු රට ඇතුළට ගත්තා. ඒවා වහගන්න අපට සීඅයිඩීයට එන්න කිව්වා. පහුගිය කාලයේ අපි දැක්කානේ, අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වානේ ඇතුළට දානවා කියලා. ඒ කැදවීම් තමයි මේ ලැබෙන්නේ.

මාව අපේ අම්මව ඉතින් සීඅයිඩීයට ගෙනාවත් හිරගෙදර දැම්මත්, ආණ්ඩුවේ ගල් අගුරු වංචාව, මේ රටේ ආගමට දහමට සංස්කෘතියට, හෙළ සංස්කෘතියට කරන විනාශය, මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට කරන අසාධාරණය, කුඩු කන්ටේනර් පන්නපු එක, ආපදාවට ලක් වෙච්ච අසරණ ලක් වෙලා ඉන්න ජනතාව රවට්ටන්න බොරු චෙක් දීලා ඒ චෙක්වල මුදල් නැතිව ආයේ ඇවිල්ලා. ඕවා වහගන්න බෑ. වහගන්න පුලුවන් කියලා හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *