රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (06) මහනුවරදී අදහස් පල කර තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ, “රැළි ආවොත් මොකද වෙන්නේ? වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා වෙරළේ වැදිලා ආපහු යයි. මදි වගේද?” යනුවෙන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා කියා සිටියේ, 23,000කට අධික වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නින්දා සහගත ලෙස අදහස් දැක්වීම පිළිබඳව තමා කණගාටු වන බවයි.
ඔහු එහිදී සඳහන් කළේ, මෙය රැළ්ලක්ද සුනාමියක්ද යන වග ලාල්කාන්ත අමාත්‍යවරයාට බොහොම සාවදානව දෑස් ඇර බලාසිටින ලෙසත්, රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත් වීමක් සිදුවනවා නම් තම සංගමය මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයට යෑමට සූදානම් බවයි.
ස්වෙච්ඡාවෙන් සිදුකළ කටයුතුවලින් බැහැරවීමක් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් සිදුකරන බවද ඔහු කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා කියා සිටියේ,
“මේ විදිහට ඉතාමත්ම නින්දා සහගත ලෙස කතා කරන්නේ 23,000කට වඩා වැඩි වෛද්‍යවරුන්ගේ මේ ප්‍රශ්නවලට. ඒත් එක්කම අපි අනිත් පැත්තට කියන්න කැමතිය මේක රැල්ලක්ද සුනාමියක්ද කියලා අමාත්‍යතුමා බොහොම සාවදානව බොහොම හොඳට ඇස් ඇරලා බලන් ඉන්න. පොඩි රැල්ලක් වගේ පෙනුනට ළඟට එනකොට තමයි තේරෙන්නේ මේ රැලි සුනාමි වෙනවා කියලා. ඔබතුමන්ලාටත් පුළුවන් ඕන්නම් මේ රැල්ල සුනාමියක් කරගන්නේ නැතුව ඉන්න. අපි හෙටත් කැමතියි මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නවත්තලා සාකච්ඡා මේසෙට ඇවිල්ලා මේ සම්බන්ධව කතා කරන්න රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත් වීමක් සිද්ධ වෙනවා නම්. ඒත් එහෙම සිද්ධ වෙන්නේ නැති නිසා තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ විදියට දිගින් දිගේ ඇදිලා යන්නේ…”


