ජගත් සංවිධාන මහලේකම් ෂොක් වෙලා
ඉරානය පුරා පැවැත්වෙන විරෝධතාවලට එරෙහිව එරට බලධාරීන් විසින් ප්රචණ්ඩත්වය සහ අසීමිත ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සිය දැඩි කම්පනය පළ කර සිටිනවා.
ඉරාන රජයට එරෙහි මෙම විරෝධතා තුන්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
බලධාරීන් සංයමයෙන් කටයුතු කළ යුතු බවත් වහාම සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කළ යුතු බවයි මහලේකම්වරයා අවධාරණය කරන්නේ.
සියලුම ඉරාන වැසියන්ට කිසිදු බියකින් තොරව තම දුක්ගැනවිලි සාමකාමීව ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.
ජාත්‍යන්තර නීතියට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ අයිතිය සහ සංගම් පිහිටුවීමේ අයිතිය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතු බව ද එම ප්‍රකාශයේ දැක්වෙනවා.
බලධාරීන් අනවශ්‍ය ලෙස බලය භාවිතා කිරීමෙන් වැළකී උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ද මහලේකම්වරයා ඉල්ලා සිටිනවා.
ජනතාවට තොරතුරු ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරමින් සන්නිවේදන සේවා නැවත ලබා දීමට පියවර ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.
පසුගිය ජනවාරි 8 වන දින සන්ධ්‍යාවේ සිට ඉරානය තුළ අන්තර්ජාලය සහ ජංගම දුරකථන සන්නිවේදනය අත්හිටුවා ඇති බව සඳහන්.
ප්රචණ්ඩත්වය උත්සන්න වන විට තොරතුරු ලබාගැනීමට ඉන් දැඩි බාධා එල්ල වනවා.
මෙම විරෝධතා ආරම්භ වූයේ දෙසැම්බර් 28 වන දින ඉරාන මුදල් ඒකකය හදිසියේ කඩාවැටීමත් සමඟයි.
මේ වන විට එම විරෝධතා එරට නගර 46කට වඩා වැඩි සංඛ්‍යාවකට පැතිර ගොස් තිබෙනවා.
වාර්තා වන අන්දමට මෙම ගැටුම් හේතුවෙන් අවම වශයෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව මියගිය සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව දහසකට ආසන්න බවයි ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ.
මීට අමතරව, එරට ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු ද මියගොස් ඇති බව ඉරාන පාර්ලිමේන්තුව තහවුරු කරනවා.
ඉරාන රජයට එරෙහිව විරෝධතාවල නිරත වන පිරිස් මර්දනය කිරීම පසුගිය දිනවලදී ඉතා දරුණු වී ඇති බව සඳහන්.
ආර්ථික අපහසුතා හේතුවෙන් ආරම්භ වූ මෙම අර්බුදය, දශක පහකට පමණ පෙර සිදු වූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන බලධාරීන් මුහුණ දෙන දරුණුතම අභියෝගය ලෙස විශේෂඥයන් පෙන්වා දෙනවා


