කුරුණෑගල, උඩවල්පොල ප්‍රදේශයේ සිව්මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, එම මරණයට හේතු වී ඇත්තේ අන්තරායකර අන්තර්ජාල සූදු ක්‍රීඩාවක බලපෑම විය හැකි බවට සැකකෙරේ.
සදරු දෙව්මිණ බණ්ඩාර නමැති එම සිසුවා පසුගිය සිකුරාදා අලුයම මෙලෙස මියගොස් ඇත. සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ ජංගම දුරකථනයක අදාළ අන්තර්ජාල ක්‍රීඩාව ක්‍රියාත්මක වෙමින් පැවති බව පොලිසිය පවසයි.
ස්ථානීය පරීක්ෂණයේදී සිසුවා සිය පාවහන් යුගළ ක්‍රමානුකූලව ගලවා තබා ඇති බව ද අනාවරණය විය. මෙය යම් බාහිර අණකිරීමකට හෝ මානසික පෙළඹවීමකට අනුව සිදුවූවක් විය හැකි බව විමර්ශකයෝ සැකකරති.
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක මෙවැනි ‘මාරක ක්‍රීඩා’ පිළිබඳ මීට පෙර ද ජාත්‍යන්තරව වාර්තා වී තිබේ. ඒ අනුව, යොවුන් දරුවන් මනෝවිද්‍යාත්මකව හසුකර ගනිමින් ඔවුන් ස්වයං හානිකර ක්‍රියාවන් සඳහා පෙළඹවීම සිදු වන බව විශ්වාස කෙරේ.
මෙම ඛේදවාචකයෙන් පසු දරුවන්ගේ අන්තර්ජාල සහ ජංගම දුරකථන භාවිතය පිළිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවට ආරක්ෂක අංශ සහ මනෝ වෛද්‍යවරු උපදෙස් දෙති.
කුරුණෑගල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙය සාමාන්‍ය මරණ පරීක්ෂණයකට වඩා තාක්ෂණික අපරාධයක් හෝ සංවිධානාත්මක මානසික මෙහෙයවීමක් ද යන්න පිළිබඳව ද සොයා බලනු ඇත.
ANZ


