අඩු පීඩන කලාපය ගැන දැනුම්දීමක්

aduuu

අඩු පීඩන කලාපය ගැන දැනුම්දීමක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියාව තිබෙනවා.

එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳ සලකා බලා එම එම ප්‍රදේශවලින් ඉවත් කර තිබූ ජනතාව යළි සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පමණක් නායයෑම් රතු නිවේදන ලබා දී ඇති බවයි.

එමෙන්ම අද (23) දිනයේද සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් පැවසූ ඒ මහතා සියලු මාර්ග යථා තත්ත්වයට පත් කර ඇතැයිද විභාග මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළා.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ,

”මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ රතු නිවේදන ඉවත් කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට විතරයි මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් රතු නිවේදන ලබා දීලා තියෙන්නේ. දිගින් දිගටම ජනතාව දැනුවත් කරලා ඉවත් කිරීමේ කටයුතු කළා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසුව නිවෙස් වෙත යැවීමට ද කටයුතු කළා. අද උදෑසන වන විට සෝමාවතිය මාර්ගයේ විතරයි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වෙන්නේ. අනෙක් මාර්ග යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.

කෙසේවෙතත් අද දිනයේත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. සියලු මාර්ග යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව සිදු කරන ඒකාබද්ධ සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මකයි. යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඒ දරුවන්ව විභාග මධ්‍යස්ථානවලට රැගෙන යාමට සහ විභාග කටයුතු වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපගේ සියලු හදිසි මෙහෙ‍යුම් මැදිරි ක්‍රියාත්මකයි. හදිසි මෙහෙ‍යුම් මැදිරි නිලධාරීන්, 117 දුරකථන අංක මැදිරි නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, තාක්ෂණික අංශ මේ සියලු අංශ අවධානයෙන් පසුවෙනවා, යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වන්න. 117 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. කාලගුණය සම්බන්ධව ලබා දෙන නිවේදන පිළිබඳව ඔබ වඩාත් විමසිලිමත් වන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *