අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස මෙන්න……

parliment web

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වනවා.
පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි.
පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවනවා.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *