දෙසැම්බර් 30 ට පෙර සියළුම ගිනි අවි භාරදෙන මෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්….

weapon web 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත් කළ ගිනිඅවි නැවත භාරදෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඊයේ (12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තා වී ඇති බවයි.

එබැවින් මෙම ගිනිඅවි දෙසැම්බර් මස 30 වන දිනට පෙර ආසන්නයේ ම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි.

මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ද ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.

එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාර දී ඇත්නම් ඒ බව ද, සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *