1989 නොවැම්බර් මස 13 වන දින සිට අද දිනට හරියටම වසර 35 කි. ඒ අවියේ බලයෙන් යටපත් කෙරුනු ලෙයින් මහපොලොව තෙමා අනාගතය හප කර දැමූ, ලාම්පු කලගෙඩි වලින් සුජාත භූමියෙ දරුවන්ගේ මහජන කැමැත්ත තමන්ට රිසිසේ උදුරාගත් අදුරු පිශාචයින් පලවා දමා දේශයේ නාමයෙන් දිවි පිදූ ඔබේත් මගේත් පොදු ජනතාවට යුක්තිය ඉටු කිරීමට දිනය පැමිණ ඇත…
අදින් තිස් පස් (35) වසරකට පෙර, 1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හමුදා අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කළේය. නමුත් මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.
1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරයන්ගේ සත්‍ය නාමය පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා ඔහු වේ.
ශ්‍රී ලංකාවේ දකුණේ පිහිටි පිටිසර ගම්මානයක් වූ කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් විය..
“ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු,” යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන් ඔහුගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ.
ගොඩ උඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය. වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.
1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබිණි. රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට අනුගත වෙමින් පැවතුණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්වූ නමුත් කෙටි කලෙකදී එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේය.
වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ අතර රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට සම්බන්ධ වූයේය. මේ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.
නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කළේය. මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය. කෙසේ වුවත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ ‘ප්‍රති කණ්ඩායමක්’ ගොඩනැගීමට කටයුතු කළේය. මෙම කණ්ඩායම පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.
කැරලි ගැසුණු දිගු කොණ්ඩය සහ හිස පැළඳි තරු ලකුණ ඇති තොප්පිය නිසා ඔහු කියුබානු විප්ලවයේ ‘වීරයෙකු’ ලෙස සලකන චේ ගුවේරා අනුගාමිකයෙකු යැයි බොහෝ දෙනෙක් සිතූහ. සමහරු මෙම විප්ලවාදීන් හැඳින්වූයේ “චේ ගුවේරාකාරයෝ,” ලෙසය.
1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ, සමගි රජය සමග එක් වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.’ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම’ මෙම පක්ෂයේ අරමුණ විය.
“ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත” ලෙස රෝහණ විජේවීර රචනා කළ ‘අත්දැකීම් කිහිපයක්’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය. “ඔහු ඉතා ජනකාන්ත, බලවත් කථිකයෙක්. සටහන් නැතුව ඔහුට පැය තුනක් හෝ හතරක් එක දිගට කතා කරන්න පුළුවන්” යැයි විජේවීරගේ නීතීඥවරයෙකුව සිටි පී. රාජනායගම් මින් වසර කීපයකට පෙර සිය අදහස් දක්වා තිබුනා.
1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට ‘චේගුවේරා බියුරෝව’ නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලා සිටි අතර, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කරන ලදී.
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසේ ආයුධ එක්රැස් කරන බව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබිණි. 1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යැවිණි. කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ පොඩි අතුල ලෙස හැදින්වූ වික්ටර් අයිවන් ඇතුළු සෙසු නායකයන් ’71 කැරැල්ල’ ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැලසුම් කළහ.
මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය. මේ හේතුවෙන්, අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලිසියට පහරදීම සිදු විය. මෙම ආරම්භයත් සමග ජනතා විමුක්ති පෙරමුණ සගයන් පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර එල්ල කළ අතර සමහර ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.
නමුත්, සැලසුම්කරණයේ දී සිදු වූ වැරදි හේතුවෙන් කැරැල්ල අසාර්ථක විය. මෙයින් පසු, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දහස් ගණනක් තරුණ තරුණියන් එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ අතර, තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි. කැරැල්ලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.
එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු පක්ෂ කැරැල්ලට සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.
මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස් කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී. මෙහිදී රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස් දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.
1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය. ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස් වූහ.
1980 මාර්තු මස රෝහණ විජේවීර මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග යුග දිවියට එළබුණි. සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රීමතී චිත්‍රාංගනී මෙම විවාහයට අකමැතිව සිටියත්, සිය සහෝදරයා වන චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත කැමැත්ත ලබා දුන් බව ඇය සඳහන් කර තිබේ. විල්ලෝරාවත්තේ පිහිටි ශ්‍රීමති චිත්‍රාංගනීගේ නිවසේ දී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණි. මෙම යුවලට දරුවන් සය දෙනෙකු සිටි අතර, විජේවීර ඉතා දයාබර පියෙකු වූ බව ශ්‍රීමති චිත්‍රාංගනී වරෙක පැවසුවාය.
1981 දී පැවති දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය. ඡන්දය වෙනුවෙන් රට වටා පැවති රැස්වීම් ගණනාවකින් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික් සභාවට පත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.
එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.
මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය. “ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා” යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.
1983 ඇති වූ කළු ජූලියත් සමග අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය යන වාමාංශික පක්ෂ තහනම් කළ බව ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ආයුධ ලබා ගන්නා බවට චෝදනා ලැබ තිබිණි. කෙසේනමුත්, විජේවීර පසු කලක දී සිය පොත් පත් මගින් එල්ටීටීඊ සංවිධානය විවේචනය කර තිබෙනු දක්නට හැකිය.


