විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
තවද ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම උක්ත විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකිවන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.


