දස වෙනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අදයි…….

WhatsApp Image 2024 11 21 at 14.02.14 1

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විය.

අද (21) පෙරවරු 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව සඳහන් කරන ලදී.

පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6හි විධි විධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්තර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගැනීම සිදු කරන බවද සඳහන් වේ.

පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවීම විශේෂත්වයකි.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *