පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද යලි කැදවීමට නියමිතව ඇත.
ඊයේ දින අභියාචනාධිකරණය විසින් එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම අද තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් අභියාචනධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇත.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඞ් ලෆාර් තාහීර් මහතා සහ කේ.පී. ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම, එස්. තුරෙයිරාජා මහතා, මහින්ද සමයවර්ධන මහතා සහ සම්පත් අබේකෝන් මහතා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණු අවස්ථාවේදී මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් 37ක් වැඩිදුර සලකා බැලීම සඳහා අද දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.


