ස්වීඩනය smart board අතහැර පොත්,පත් හා පෑන්,පැන්සල් වෙත මාරුවේ

world bank Recovered Recovered Recovered 7

ගෝලීය වශයෙන් තාක්ෂණයේ ඉහළම ප්‍රතිලාභ ලබන සහ ලොව දියුණුම ඩිජිටල් යටිතල පහසුකම් සහිත රටක් වන ස්වීඩනය, සිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ ‘අධි-ඩිජිටල්කරණ’ (Hyper-digitalization) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට තීරණය කර තිබේ. පන්තිකාමර තුළ මෙතෙක් භාවිත කළ ටැබ්ලට් පරිගණක සහ ලැප්ටොප් වෙනුවට යළිත් සාම්ප්‍රදායික මුද්‍රිත පොත්, පෑන සහ කඩදාසි වෙත නැඹුරු වීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් එරට රජය විසින් මේ වන විට ආරම්භ කර ඇත. ජාත්‍යන්තර WION නාලිකාවේ මාධ්‍යවේදිනී ශ්‍රෙයා උපධ්‍යාය (Shreya Upadhyaya) ගෙන එන වාර්තාවලට අනුව, තාක්ෂණයේ පසුපසම හඹායන සෙසු ලෝකයට මෙම ‘නැවත මුලට පැමිණීමේ’ (Back to basics) ප්‍රතිපත්තිය ඉතා වැදගත් පාඩමක් කියා දෙන්නකි.
මෙම හදිසි ප්‍රතිසංස්කරණවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෑතකාලීන ජාත්‍යන්තර අධ්‍යාපන ඇගයීම් වන PISA සහ PIRLS දර්ශකයන්හි ස්වීඩන සිසුන්ගේ කියවීමේ, ලිවීමේ සහ ගණිතමය සාක්ෂරතා මට්ටම් පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටී තිබීමයි. පන්තිකාමර තුළ පරිගණක තිර (Screens) අධික ලෙස භාවිත කිරීම මීට සෘජුවම බලපා ඇති බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. ස්වීඩනයේ සුප්‍රසිද්ධ කරොලින්ස්කා පර්යේෂණ ආයතනයේ (Karolinska Institute) විද්‍යාඥයන් අවධාරණය කරන්නේ, අධ්‍යාපන කටයුතු සඳහා වුවද තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම නිසා දරුවන්ගේ අවධානය බිඳවැටෙන (Attention deficit) බවයි. එය දරුවන්ගේ මොළයේ වර්ධනයට මෙන්ම තොරතුරු නිවැරදිව ග්‍රහණය කරගැනීමේ හැකියාවටද දැඩි බාධා පමුණුවයි.
විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ඩිජිටල් තිර හරහා කියවීමට වඩා, මුද්‍රිත පොතක් ඇසුරින් කියවීමෙන් දරුවන්ගේ මතකය සහ අවධානය රඳවා ගැනීම ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. මේ හේතුව නිසා ස්වීඩන රජය ඩොලර් මිලියන සිය ගණනක ප්‍රතිපාදන වෙන් කරමින් සෑම සිසුවෙකුටම සෑම විෂයයක් සඳහාම නිල මුද්‍රිත පෙළපොතක් ලබා දීම අනිවාර්ය කර ඇත. මුද්‍රිත පෙළපොත් සහ අත් අකුරින් ලිවීම (Handwriting) මූලික කරගත් නව ජාතික විෂය නිර්දේශයක්ද මේ වන විට සැලසුම් කර තිබේ.
මීට අමතරව, නව නීති යටතේ පන්තිකාමර තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ස්වීඩන බලධාරීන් පියවර ගනිමින් සිටී. පාසලෙන් පරිබාහිරව, අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිදු ආකාරයක ඩිජිටල් තිර නිරාවරණය කිරීම වැළැක්වීමටද එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ උපදෙස් දී ඇත.
ස්වීඩන අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙහි අරමුණ තාක්ෂණය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නොවන බවයි. එහෙත්, දරුවෙකුගේ මූලික සාක්ෂරතාව සහ ලේඛන හැකියාව ශක්තිමත් මට්ටමක පවත්වා ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද අත්‍යවශ්‍ය බව ඔවුන් වටහාගෙන ඇත. අධි-ඩිජිටල්කරණය නිසා දරුවන්ගේ සිතීමේ සහ කියවීමේ හැකියාව මොට වන බව වටහාගෙන ස්වීඩනය ගත් මෙම තීරණය, තාක්ෂණය දෙස පමණක් බලා අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලටද දෑස් පාදන ආදර්ශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *