විමල්, අනිත් අයත් ඔයා වගේ ලොකු වැඩ කරනකම් ඉවසන්න

world bank Recovered Recovered Recovered 8

අම්බිකාට තව කාලය දෙන්න, විමල් මහතාණෙනි
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනි අම්බිකා තූර්ය වාදක කණ්ඩායමක් පෙරටු කොටගෙන, බුලත් අතක් දී පිළිගෙන, උත්සවාකාරයෙන් ගොස් පාසලක වැසිකිළියකට මුල්ගල තැබීම පිළිබඳව විමල් වීරවංශ මහතා විවේචනය කරමින් ප්‍රකාශ කළේ, එම සිදුවීමෙන් ඔවුන් කොතරම් “පොඩි මිනිස්සුද” යන්න පැහැදිලි වන බවයි.
එහෙත් විමල් වීරවංශ මහතා තේරුම් ගත යුතු කරුණක් ඇත. අම්බිකා මන්ත්‍රීවරිය තවමත් දේශපාලන බලය, වරප්‍රසාද සහ රාජ්‍ය සම්පත් භාවිතා කර “ලොකු මිනිසෙකු” වීමේ ශ්‍රී ලාංකික දේශපාලන පාසලේ මුල් පන්තියේ පමණක් සිටින ශිෂ්‍යාවකි. ඔබ අද සිටින තැනට පැමිණීමට ඔබටත් වසර ගණනාවක පුහුණුවක් අවශ්‍ය වූවා සේම, ඇයටත් තව කාලයක් අවශ්‍ය වනු ඇත.
අද ඇය පාසලක වැසිකිළියකට මුල්ගල තබයි. හෙට අනිද්දා ඇයත් වෙනත් බොහෝ දේශපාලනඥයන් මෙන් විශාල ව්‍යාපෘති විවෘත කරනු ඇත. ඊට පසු ඒ ව්‍යාපෘතිවල වටිනාකමට වඩා කොමිස් වටිනාකම ගැන අවබෝධයක්ද ලබා ගනු ඇත. එතැනින් පසු ජනතාවගේ බදු මුදල්වලින් ගොඩනැගෙන සංවර්ධනය සහ පුද්ගලික දේපළ ගොඩනැගීම අතර ඇති “සූක්ෂම සම්බන්ධතාවය” දේශපාලන අත්දැකීමක් ලෙස ඉගෙන ගනු ඇත.
අද ඇය ජනතාව අතරින් පැමිණි සාමාන්‍ය කාන්තාවකි. තව වසර කිහිපයකින් ඇයත් “අපිට දේපළ තිබුණා”, “අපේ පවුලට ව්‍යාපාර තිබුණා”, “අපි දුප්පත් අය නොවෙයි” යනුවෙන් තමන්ගේ ඉතිහාසය නැවත ලිවීමට පටන් ගත හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අරුම පුදුම හැකියාව වන්නේ, ඊයේ බස් එකේ ගිය පුද්ගලයා අද බෙන්ස් රථයක යන විට තමන් කිසිදා බස් එකේ ගියේ නැතැයි විශ්වාස කිරීමට පටන් ගැනීමයි.
එබැවින් විමල් වීරවංශ මහතාණෙනි, අම්බිකා මන්ත්‍රීවරිය ගැන එතරම් ඉක්මනින් තීන්දු නොදෙන්න. ඇයට තව කාලය දෙන්න. ඔබ ඇතුළු බොහෝ දේශපාලනඥයන් අත්පත් කරගත් සමාජ තත්ත්වයට, වරප්‍රසාදවලට සහ සුඛෝපභෝගී ජීවන රටාවට ඇය තවමත් සම්පූර්ණයෙන් ළඟා වී නැත.
ඇයත් තව ටික කලකින් මහජන දේපළ හා මහජන මුදල් සමඟ කටයුතු කරන ආකාරය, බලය පෞද්ගලික ප්‍රතිලාභ බවට පරිවර්තනය කරන ආකාරය, ජනතාව වෙනුවෙන් කරන සේවය සහ තමන් වෙනුවෙන් ගොඩනගන වත්කම් අතර සමතුලිතතාවය පවත්වාගෙන යන ආකාරය ඉගෙන ගනු ඇතැයි ඔබට විශ්වාස කළ හැකිය.
ඒ නිසා ඔබට කළ හැකි හොඳම දෙය නම්, ඇයව හෑල්ලුවට ලක් කිරීම නොව, ඔබ “ලොකු මිනිසෙකු” වූ ආකාරය පිළිබඳ ඔබේ අත්දැකීම් බෙදා දීමය. සාමාන්‍ය පසුබිමක සිට දේශපාලන බලය, සමාජ ප්‍රභූත්වය, විශාල නිවාස, සුඛෝපභෝගී වාහන සහ අසීමිත වරප්‍රසාද කරා ළඟා විය හැකි මාර්ගය පිළිබඳ පාඩමක් ලබා දීමට ඔබ තරම් සුදුසු ගුරුවරයෙකු ඔවුන්ට සොයා ගැනීම අපහසු වනු ඇත.
ඒ නිසා විමල් වීරවංශ මහතාණෙනි, අම්බිකා මන්ත්‍රීවරිය අද පාසල් වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කලබල විය යුතු නැත. ඇයට තව කාලය ලබා දෙන්න. ශ්‍රී ලාංකික දේශපාලනයේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් පසු, මහජන මුදල්වලින් පෞද්ගලික සාර්ථකත්වය ගොඩනගන ආකාරය, දුප්පත්කමේ කතාවෙන් බලයට පැමිණ ධනවත්කමේ කතාවෙන් බලය ආරක්ෂා කරන ආකාරය, සහ ජනතා සේවය හා පෞද්ගලික වරප්‍රසාද අතර ඇති සම්බන්ධය පිළිබඳ ඔබ අද දන්නා බොහෝ පාඩම් ඇයත් ඉගෙන ගනු ඇත.
එවිට ඇයද “පොඩි මිනිසෙකු” නොව, ඔබ වසර ගණනාවක් තිස්සේ නියෝජනය කරමින්, ආරක්ෂා කරමින් සහ පරිපූර්ණ කරමින් පැමිණි ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේම තවත් සාර්ථක “ලොකු මිනිසෙකු” බවට පත්වනු ඇත. එතෙක් කරුණාකර ඉවසන්න. ඇය තවමත් ඔබලාගේ පන්තියට ඇතුළත් වීමේ මූලික පාඨමාලාව පමණක් හදාරමින් සිටින්නීය.

ANZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *