ශ්රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්යාජ ගමන් බලපත්ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන ප්රබල පාතාල නායකයෙකුට විදේශ ගමන් බලපත්ර 19ක් නිකුත් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත.
සාමාන්ය පුද්ගලයෙකුට එක ගමන් බලපත්රයක් සදහා මාස ගණන් පෝලිම්වල සිටීමට සිදුවන අතර, පාතාල නායකයන්ට විවිධ නම්වලින් තොග පිටින් ගමන් බලපත්ර ලබා දීමේ තත්ත්වය දැඩි විවේචනයට ලක්වී ඇත.එමෙන්ම, සංවර්ධිත රටවල වීසා ප්රතික්ෂේප වූ පුද්ගලයන්ට වෙනත් ව්යාජ නම්වලින් අලුතින්ම ගමන් බලපත්ර සකස් කර දීමේ ජාවාරමක්ද මෙහි කොටසක් බවට හෙළිවී ඇත. මෙය එම රටවල් රැවටීමේ අරමුණින් සිදුකරන නීතිවිරෝධී ක්රියාවලියක් ලෙස සලකයි.
මෙම දූෂණය හුදෙක් තනි සේවකයෙකුගේ අත්වැරැද්දක් නොව, දෙපාර්තමේන්තුවේ ස්ථිර නිලධාරීන් සහ ඉහළ මට්ටමේ පාලකයන්ගේ සෘජු සම්බන්ධතාවය මත සිදුකරන සංවිධානාත්මක අපරාධයක් බවට තොරතුරු පෙන්වයි.ජාතික ආරක්ෂාවට හා මහජන විශ්වාසයට දැඩි තර්ජනයක් වන මෙම මහා දූෂණය පිළිබඳව වහාම ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශනයක් සිදුකර, වගකිවයුතු සියලු දූෂිත නිලධාරීන් නීතිය හමුවට ගෙන ඒම අත්යවශ්ය බව ජනතාව අවධාරණය කරති.


