“අයියෝ මේ පොලිතින් පොඩ්ඩක් නේ, පිච්චුවා කියලා මොකද වෙන්නේ?” යන වගකීම් විරහිත ප්‍රකාශ අපගේ සමාජයේ නිතර ඇසෙනවා. නමුත් එවැනි නොසැලකිලිමත් ක්‍රියාවලියෙන් පරිසරයටත් මහජන සෞඛ්‍යයටත් ඇතිවන බලපෑම් බරපතළය. බොහෝ දෙනා “කුණු ටිකක් විතරයි” කියා ගිනි තැබීම නීත්‍යනුකූල බව සිතූවත්, ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනත යටතේ එළිමහනේ අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ගිනි තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 2017 සැප්තැම්බර් 1 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, එවැනි ක්‍රියාවක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකයි.ප්ලාස්ටික් දැවීමේදී ඩයොක්සින්, ෆියුරාන් සහ PM2.5 වැනි දූෂක වායුගෝලයට එක්වී දිගුකාලීන සෞඛ්‍ය හා පරිසර බලපෑම් ඇති කරයි. දුම පමණක් නොව, ගිනි තැබීමෙන් පසු ඉතිරිවන අළුද වැසි ජලය සමඟ පසට හා ජල මාර්ගවලට ගමන් කර පරිසරයට හානි කළ හැකිය.
මෙවැනි දූෂණය මිනිසුන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇති කරයි. ශ්වසන අපහසුතා, ඇදුම උත්සන්න වීම සහ හෘද වාහිනී ගැටලු ඇතිවීමේ අවදානම වැඩි වන අතර, දරුවන් සහ වැඩිහිටියන් විශේෂයෙන්ම සංවේදීය. දුම තම ඉඩමේ සීමා නොවී අවට නිවාස, මාර්ග සහ පොදු ස්ථාන වෙත පැතිර යයි.අපද්‍රව්‍ය දැවීමෙන් නිකුත් වන දූෂක පස, ජලය, ශාක සහ සතුන්ට අහිතකර බලපෑම් ඇති කරයි. මිශ්‍ර අපද්‍රව්‍ය දැවීමේදී නිකුත් වන දූෂකවල ස්වභාවය වෙනස් වන නිසා අවදානම තවත් වැඩිවේ. විධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ පහසුකම් සීමිත ප්‍රදේශවල ජනතාවට අභියෝග වැඩි වන අතර, එවැනි තත්ත්වයන් තුළ ගිනි තැබීමේ ප්‍රවණතාව වැඩිවේ. විසඳුම වන්නේ ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ශක්තිමත් කිරීමයි.
අපද්‍රව්‍ය කළමනාකරණයේ නිවැරදි ක්‍රමය වන්නේ වෙන් කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය සහ නිසි බැහැර කිරීම යන ක්‍රමවේදයයි.පරිසරයට හානි වන ආකාරයෙන් අපද්‍රව්‍ය ගිනි තැබීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත 1981 අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි අතර, මහජන පීඩාවක් හෝ හදිසි අවදානමක් ඇතිවූ විට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දිය හැකිය.අපද්‍රව්‍ය ගිනි තැබීම නීතියෙන් තහනම් වීම පමණක් නොව, එය සෞඛ්‍යයට හා පරිසරයට ඇතිවන බලපෑම් නිසා අප සියලු දෙනාගේ වගකීමකි. “කුණු ටිකක් විතරයි” කියා නොසලකා හරින දුමාරය හෙට අපේම දොරකඩට පැමිණිය හැකිය.


